(***)

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට දුන් කතානායකවරයාගේ අනීතික තීරණය යළි සලකා බැලීමට අවශ්‍ය වන අතර එසේ නැතිව පූර්වගාමී නියෝග හා පාර්ලිමේන්තුවේ උසස් සම්ප්‍රද‌ාය ඉවතලා කටයුතු කිරීම අනාගතයේදී ත්‍රස්තවාදීන් පවා පාර්ලිමේන්තුවට පත්වීමේ මඟ සකස් කිරීමක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එජාප මහ ලේකම්වරයාගේ නිවේදනයේ මෙසේ ද සඳහන්ය.

මරණීය දණ්ඩනයෙන් දඬුවම් ලැබූ අපරාධකරුවකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගත හැකි බවට වන කිසිදු පූර්වගාමී තීන්දුවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ දක්නට නැත. ප්‍රේමලාල් ජයසේකර එදිරිව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නඩුකරය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේමලාල් ජයසේකර යන අයව පාර්ලිමේන්තු රැගෙන යාමට අවශ්‍ය නියෝග ගැනීමට ගොනු කළ නඩුකරයකි.

නඩුවේදී අභියාචනාධිකරණ විනිසුරු නවාස් මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ අධිකරණය කිසි ලෙසකින්වත් අදාළ පත්වීමේ වලංගුභාවය හෝ අවලංගුභාවය, ඔහුගේ පත්වීමේ හෝ වෙනත් නුසුදුසුභාවයක් සම්බන්ධව විමසීමක් නොකරන අතර බන්ධනාගාර කොමසාරිස්වරයාගේ ප්‍රශ්න ගත ලිපිය මත අභියෝගකොට ඇති පරිපාලන නීති කෙරෙහි පමණක් අවධානය යොමු කරනු ලබයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ‘‘පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගැනීම, ඡන්දය ප්‍රකාශ කිරීම යන කරුණු අධිකරණය හමුවේ ප්‍රශ්නගත කරුණු නොවන අතර’’ ඊට අදාළ ක්‍රියාමාර්ගය ලෙස ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ ‘‘ඒ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ කථානායකවරයා හෝ වෙනත් නිසි අධිකාරයක් විසින් තීරණය කළ යුත්තක් බවයි.

ඒ අනුව අභියාචනාධිකරණ නියෝගය ප්‍රේමලාල් ජයසේකර යන අයට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරිය හැකි බවට වන නියෝගයක් කිසි ලෙසකින්වත් ප්‍රකාශකොට නැති අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සරත් ෆොන්සේකා එදිරිව පාර්ලිමේන්තු මහ ලේකම් නඩුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරීමට නුසුදුස්සකු වන බවට කථානායකවරයා දී තිබූ නියෝගය ස්ථිර කරමින් දුන් නියෝගයට එරෙහි නියෝගයක් නෛතික හැකියාවක් අභියාචනාධිකරණයට කිසිසේත්ම නැත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යුද්ධාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාවේ දක්වන ක්ෂේත්‍රය මත වන නිසි අධිකරණයක් බවට තීරණය කරන ලද අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) හා 91 (1) (අ) ව්‍යවස්ථාවන් දක්වා ඇත්තේය.

89 (ඈ) ව්‍යවස්ථාව,
‘‘යම් කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාර ගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන්ම විඳ සිටියේ නම් නැතහොත් මරණීය දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියමයක් ක්‍රියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාර ගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය.’’

 (අ) ව්‍යවස්ථාව
‘යම් කිසි තැනැත්තෙකු 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වූ හෝ නුදුසුදුසුකමකට යටත් වේ නම් නැතහොත් එවැනි නුසුදුසුකමකට භාජන වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කරගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය’’
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරීමේ නුසුදුසුභාවය සම්බන්ධ නියෝගයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 ව්‍යවස්ථාවන් ප්‍රකාරව ලබා දිය යුත්තේ කථානායකවරයා විසින් බව අතිශයින් පැහැදිලි වේ.

සරත් ෆොන්සේකා මහතාගේ නුසුදුසුභාවය සම්බන්ධ කථානායකවරයාගේ නියෝගයට අමතරව මෙම කාරණයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු ලබා දී ඇති පූර්වගාමී තීන්දු කිහිපයක් පහත දැක්වේ.

එක්සත් රාජධානියේ පහළ මන්ත්‍රී මණ්ඩලය මගින් මන්ත්‍රීවරුන් දෙදෙනකු ධූරයෙන් නෙරපනු ලැබූයේ ඔවුන් සිර දඬුවම් ලැබීම නිසාය.
වර්ෂ 1922 දී හොරේෂියෝ බොටම්ලි මන්ත්‍රීවරයා ධූරයෙන් පහකිරීමට හේතුවූයේ වංචනික ක්‍රියාවක් හේතුවෙන් වසර 07 ක සිර දඬුවම් නියම වූ නිසාය. එමෙන්ම වර්ෂ 1954 දී පීටර් බේකර් මන්ත්‍රීවරයා කූඨ ලේඛන සැකසීමේ චෝදනාව යටතේ වසර 07ක සිර දඬුවම් නියම වීම හේතුවෙන් මන්ත්‍රීධූරයෙන් නෙරපා හරින ලදි.

කැනඩා පාර්ලිමේන්තු  මන්ත්‍රී ෆ්‍රෙඩ් රෝස් හට වසර 06 ක සිර දඬුවම් නියම වීම යන කාරණය මත මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා ඔහුගේ ධූරය හිස් වූ බවට නියෝග කරන ලදී.

කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය හාවි එදිරිව නිව් බ්‍රන්ස්වික් නඩුවේදී විනිසුරු මැක්ලේඩ් ප්‍රකාශ කොට සිටි ප්‍රජාතන්ත්‍රවාදයන් සුරක්ෂිත වීමට නම් ඒ විසින් නියෝජනය ලැබීමට සිටින හෝ ධූරයන් දරමින් සිටින අයගේ වැදගත්කම සහතික කළ යුතුය’’ යන ප්‍රකාශය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති මෙම කාරණයට අතිශයින් අද‌ාළ බව කිව යුතුය.

කථානායකවරයා ඔහුගේ අනීතික තීරණය යළි සලකා බැලීම අත්‍යවශ්‍ය වන අතර එසේ නැතිව පූර්වගාමී නියෝග හා පාර්ලිමේන්තුවේ උසස් සම්ප්‍රද‌ායයන් ඉවත ලා කටයුතු කිරීම අනාගතයේ දී ත්‍රස්තවාදීන් පවා පාර්ලිමේන්තුවට පත්වීමේ මග සකස් කිරීමක් වනු ඇත.