(*** අංජුල මහික වීරරත්න)

‘‘විසිවැනි සංශෝධනය යටතේ ස්වාධීන විගණන කොමිසම අහෝසි කර ජනපති විසින් විගණකාධිපති පත් කිරීම ‘‘නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ’’ යන සිංහල කියමන යළි සිහිපත් කරවන ජාතියේ එකක්’’යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මාධ්‍ය හමුවේ ඊයේ (13) පැවසීය.

‘‘ජනපති කාර්යාලයේ සහ අගමැති කාර්යාලයේ මුදල් විගණනය කරන්න නොහැකි වීම බදු ගෙවන ජනතාවගේ අයිතිය උල්ලංඝණය වීමක් වන හෙයින් එය අධිකරණය හමුවට ගෙනයා යුතු කරුණක් බව ද’’ වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
කොළඹ-ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ ද කීවේය.

‘‘හදිසි නීති ගෙනෙන්නට හැකි බව විසි වැනි සංශෝධනයේ සඳහන් වෙනවා. නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවයි. ඇතැම් රටවල පාර්ලිමේන්තු සභා දෙකක් තිබෙනවා. නීතියක් සම්පාදනය කරන විට රටේ පුරවැසියාට අධිකරණය හරහා එය ප්‍රශ්න කිරීමේ අයිතිය ද සමහර රටවල පවතිනවා.

නීතිය සම්මත කළේ ව්‍යවස්ථාවට අනුකූලවදැයි ප්‍රශ්න කිරීමේ අයිතිය පුරවැසියාට තිබෙනවා. ලංකාවේ පුරවැසියාට එවැනි අයිතියක් නැහැ.
නමුත් අපට පොඩි ඉඩකඩක් තිබුණා. නීතියක් වන්න පෙර එය ගැසට් පත්‍ර මගින් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කෙරෙනවා. විසිවැනි සංශෝධනය ගැසට් පත්‍රයක් මගින් නිකුත්ව තිබෙනවා. ඒ කෙටුම්පත අධිකරණයේ ප්‍රශ්න කිරීමට හැකියි.

විසි වැනි සංශෝධනය යටතේ ගෙනැවිත් තිබෙන හදිසි කෙටුම්පත් සම්බන්ධව අධිකරණයට යා හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. කෙටුම්පතෙහි ගැටලුවක් ඇත්නම් අධිකරණය පැය විසි හතරක් ඇතුළත ජනාධිපතිවරයාට කිව යුතුයි.

නීතියක් යනු ඉතා සංකීර්ණ දෙයයි. විනිසුරුවන් ඒක රාශී කර ගන්නත් පැය විසි හතරක් ගත වෙනවා. මෙය සාධාරණ ද? රටේ පුරවැසියාට එය ප්‍රශ්න කිරීමට කිසිම අයිතියක් නැහැ.

ගව ඝාතනය තහනම් කරන්නට යන බවට පුවත අප පසුගිය දිනවල දුටුවා. රටේ කිසිම සාකච්ඡෘවක් නැතිව අවශ්‍ය නම් විසි වැනි සංශෝධනය යටතේ  එවැනි නීතියක් ගෙන එන්න හැකියාව තිබෙනවා. ගව ඝාතනය කළොත් හිරේ, මිනිහෙකු මැරුවොත් පාර්ලිමේන්තුවේ කියා කතාවක් මා මුහුණු පොතෙහි දුටුවා.

අප රටේ ඇත්ත තත්ත්වය මෙයයි. හදිසි පනත් ගෙන ඒම තුළින් පුරවැසියාට නීතිය ප්‍රශ්න කිරීමට තිබෙන අයිතිය සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා. ඒ නිසා අප විසි වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

එමෙන්ම විසි වැනි සංශෝධනයෙහි මූල්‍ය සහ විගණනය සම්බන්ධයෙන් ද ගැටලුවක් තිබෙනවා. විගණනයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම නැති කර දමලා. විගණනය යන්න එය අර්ථ දැක්වීමෙන්ම ස්වාධීන විය යුතුයි.

සමාගමක වුවත් විගණනය කරන ආයතනය තෝරා ගන්නේ ප්‍රධාන විධායක නිලධාරියා නොවෙයි. එහි කොටස්කරුවන් විසිනුයි. රාජ්‍යයක තත්ත්වයත් එසේම විය යුතුයි.
විසිවන සංශෝධනයෙන් පසු ජාතික විගණන සේවා කොමිසම අහෝසි වී යනවා. එහි ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම නැති කර දමනවා. පත්වීම් කරන්න ස්වාධීන ව්‍යවස්ථාදායක සභාවක් නැහැ. සියලු පත් කිරීම් බලතල ජනාධිපතිවරයා පවරාගෙන සිටිනවා.

ජනාධිපති පුටුවේ කාලයෙන් කාලයට කවුරුන් වාඩිවේදැයි කියන්න බැහැ. ඒ නිසා පුද්ගලයන්ගේ හොඳ නරක බලා තීරණ ගන්න හැකියාවක් නැහැ. විගණකාධිපතිට තිබිය යුතු සුදුසුකම් ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙනවා.

නමුත් විසිවැනි සංශෝධනය යටතේ විගණකාධිපති හඳුන්වන්නේ තවත් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකු ලෙසයි. විගණකාධිපති පත් කරන්නේත් ජනාධිපතිවරයායි.

නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ කියා සිංහල කියමනක් තිබෙනවා. විගණන කොමිෂන් සභාව අහෝසි කිරීමෙන් වන්නේ ඒ වගේ දෙයක්.

එමෙන්ම විසිවැනි සංශෝධනය යටතේ ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය විගණනය කරන්න බැහැ. මෙලෙස ඉවත් වන්නේ කුමන පදනමක් යටතේ ද? මේ ආයතනවලත් තිබෙන්නේ පොදු ජනතාවගේ මුදල් නොවේ ද? මෙම තීරණයේ කිසිම පදනමක් මට නම් පේන්නෙ නැහැ. මේ කාරණය අනිවාර්යයෙන්ම අධිකරණයට යොමු කළ යුතුයි.

ජනතා බදු මුදල් වියදම් කරන ආකාරය ප්‍රශ්න කරන්න ජනතාවට අයිතියක් නැති නම් එය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට පටහැනියි.
විසිවැනි සංශෝධනය පිළිබඳව නැවත සොයා බලන්න කමිටුවක් පත් කරන බව අගමැතිවරයා කියා තිබුණා. ඒ කියන්නේ අගමැතිවරයාවත් මේ ව්‍යවස්ථාව දැක නැද්ද? එය ඉතා කනගාටුදායකයි.

විගණන නිලධාරීන්ගේ සංගමය මෙන්ම රාජ්‍ය නිලධාරීන් මෙය ප්‍රශ්න කරනවා. වැරදි දෙයක් වන විට එය ප්‍රශ්න කරන්න බොහෝ රාජ්‍ය සේවකයන්ට කොන්ද පණ නැහැ. එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසි වැනි සංශෝධනය පිළිබඳව ඒ අයගේ අදහස ප්‍රකාශ කළ යුතුයි.
ඒ අයට ලැබුණේ ඉතා අසීරු ආර්ථිකයක් බව ඔවුන් දැන් කියනවා. එහි සත්‍යතාවක් නැහැ. ආර්ථික වර්ධන වේගය අපේ කාලයේ දී සියයට තුනට පහත බැස තිබුණා. ඒ කාලය ඇතුළත ලෝක ආර්ථික වර්ධන වේගයත් පහත බැස්සා.

මේ රජය පත්වී පළමුවැනි කාර්තුව ඇතුළත ආර්ථික වර්ධන වේගය – 1.6 බවට පත් වෙනවා. මේ අගය වාර්තා වුණේ කොරෝනා වසංගතයට පෙරයි. නොවැම්බර් මාසයේ දී අලුත් බදු ප්‍රකාශනයක් කළා. එයින් රටේ ආදායම තුනෙන් එකකින් පමණ පහත වැටුණා. ඒ අනුව රාජ්‍ය ආදායමෙන් සියයට 28% න් හෝ 30% කින් හෝ පහත බැස තිබෙනවා. ඒ කාලයේ පුනරාවර්තන වියදම් සියයට 10 කින් ඉහළ ගියා.

අපේ කාලයේ රාජ්‍ය ආදායම ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගියා. එමෙන්ම අය වැය පරතරය අඩු වුණා. ආර්ථික වර්ධන වේගය එක මට්ටමකට පවත්වාගෙන එන්න හැකියාව ලැබුණා. වසර 35කට පසු වැඩිම අය වැය පරතරය ලැබෙන්නේ 2020 වසරේදීයි.

මේ රජයේ තිබෙන්නේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක්. වැරදි ප්‍රතිපත්ති අනුගමනය කර ආදායම නැති කර ගත්තා. කොරෝනා වසංගතය හමුවේ රැකියා අහිමි වීම නතර කිරීමට වෙනත් රටවල නම් රාජ්‍ය සමාගම්වලට යම් මුදලක් දී සේවක පඩි නඩි ගෙවීම සඳහා සහන සලසනු ලැබුවා. මොවුන් එවැනි දෙයක් කළේ නැහැ. මුලින්ම ආදායම අහිමි කරගත් ආණ්ඩුවකට එවැනි දෙයක් කරන්නත් බැහැ.

අපේ ආණ්ඩු සමයේ සහ මෙදා ආහාර මිල සසඳා බැලුවහොත් විශාල පරතරයකින් එය වැඩි වෙලා. පොල් මිල සියයට 74 කින් ඉහළ ගොස් තිබෙනවා. පරිප්පු මිල 21% කින් ඉහළ ගිහිල්ලා.

බදු අඩු කළ විට එහි වාසිය ජනතාවට ලැබිය යුතුයි. අප රජය බාර ගනිද්දී සෘජු බදු සියයට 12ක් ද වක්‍ර බදු සියයට අසූ අටක් ද ලෙස පැවතුණා. වක්‍ර බදු වැඩි කරනවා යනු බඩු මිලට එය එකතු කිරීමයි. අප වක්‍ර බදු ප්‍රමාණය අඩු කළා. ඍජු බදු ප්‍රමාණය සියයට 25ක් බවට පත් කොට වක්‍ර බදු ප්‍රමාණය සියයට 75ක් දක්වා පහත දැමුවා.

මේ අය පැමිණ බදු සහන දෙන බව කියමින් පොදු ජනතාව පරිභෝජනය කරන ආහාර මත බදු පැනවූවා.

ආණ්ඩුව ආනයන සීමා කරලා. සරුංගලයේ සිට මෙරටට ගෙන්විය යුතු බව අප කියන්නේ නැහැ. මේ මාස කීපය තුළ අපනයනය හොඳ තත්ත්වයක තිබෙනවා. එම තත්ත්වයේ පැවතීමට හේතුව රජයේ නොවේ, අප රටේ ඉතා හොඳ පෞද්ගලික ආයතන තිබීමයි.

නිදහස ලැබීමෙන් පසු විශාලතම පසුබැසීම වන්නේ මේ වසරේදීයි. 2020 ජනවාරියේ සිට අගෝස්තු මාසය දක්වා රාජ්‍ය ආදායම කොපමණදැයි කියන්න. එමෙන්ම ඒ කාලයේ ඇතුළත රාජ්‍ය වියදම කියන්න. එමෙන්ම රජයේ ණය කොපමණ ගත්තාදැයි එළි කරන්න. ඒ කාලයේ දී රාජ්‍ය වියදම් අනුමත කළේ කවුද? එසේ කළේ මොන නීතිය යටතේදැයි කියන්න. එලෙස මුදල් අනුමත කර ගැනීම ව්‍යවස්ථාවට පටහැනියි.’’

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඉරාන් වික්‍රමරත්න මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය:- ආණ්ඩුව තුනෙන් දෙකෙහි බලය ගැනීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බිලී බා ගන්න සූදානම් වෙනවා ද?
පිළිතුර:- ඒ මවාගත් කතාවක් පමණයි. සමගි ජන බලවේගයේ කිසිවකුත් යන්නේ නැහැ.