IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


“ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න.මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්“

(නාලක සංජීව දසනායක ගල්ගමුවේ සිට)

තරුණ ජීවිත ටයර් සෑයවල පිච්චෙන යුගයක් නැවතත් මේ රටට අනවශ්‍ය යැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (14) ගල්ගමුවේදී පැවැසීය.

මෙරට ජනාධිපතිවරණය ඉහළින්ම ජයගෙන රට වෙනුවෙන් යුතුකම ඉටුකිරීමට තමන් කැපවන බව ද ඔහු කීය.
කුරුණෑගල ගල්ගමුව සතිපොළ භූමියේ ඊයේ (14) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙමුණේ ජනාධිපතිවරණ රැලියට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ පළාත් පාලන නියෝජනයන් ඇතුළු ක්‍රියාකාරීහු තුන්සියයක පමණ පිරිසක් මෙහිදී ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය පළ කරමින් එම වේදිකාවට ගොඩවූහ.

එහිදී විපක්‍ෂ නායකවරයා මෙසේද පැවැසීය.

“ජනතාවට කිසිම වැඩක් නොකරපු ආණ්ඩුවක් තිබුණා නම් මේ ආණ්ඩුව පමණයි. පසුගිය අවුරුදු හතරහමාර පුරාවට මේ ආණ්ඩුව ජනතාවට මොකුත් කළේ නැහැ. අඩුම තරමේ මේ පළාතේ ජල ප්‍රශ්නය විසඳන්න, වල් අලි ගැටලුවට විසඳුමක් දෙන්න ආණ්ඩුව උත්සාහ ගත්තේ නැහැ. නොවැම්බර් 16 වැනිදාට අලි ආණ්ඩුව එලවන විට අපි ඔබ මුහුණ දෙන වල්අලි ගැටලුවටත් විසඳුම් දෙනවා.

ඒ විතරක් නෙවෙයි මේ ප්‍රදේශයට ජලය ලබාදෙන්න, සියලුම මාර්ග හදන්නත් අපි සැලසුම් සකස් කරනවා. ගොවින් වශයෙන් ඔබට මුහුණ දීමට සිදුවී තිබෙන ප්‍රශ්නවලට අද මුළු රටේම ගොවින් මුහුණ දෙනවා.

මේ ආණ්ඩුව ගොවින්ට සැලකුවේ නැහැ. දින 52 ආණ්ඩුව යටතේත් මම ගොවින්ට රු. 350ක පොහොර සහනාධාරය ලබා දුන්නා. නමුත් මෙදා පාර ගෝඨාභයගේ ආණ්ඩුව ගොවින්ට නොමිලයේ පොහොර සහනාධාරය ලබා දෙන්න දැනටමත් තීන්දුකර තිබෙනවා.

හමුදාවට, පොලිසියට, රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව බොරු කියනවා. බොරු කීම කතා කිරීම හැර මේ ආණ්ඩුව ජනතාවට කිසිම වැඩක් කරන්නේ නැහැ. මේක බංකොලොත් ආණ්ඩුවක්.

අද එක්සත් ජාතික පක්ෂයක් නැහැ. තමන් බලයට පත්වී තාත්තාගේ පාලන යුගය නැවත ගෙන එන බව සජිත් ප්‍රේමදාස කියනවා. තමුන්නාසේලාට තාත්තාගේ යුගය මතකද?
(ජනතාව හූ කියමින් කෑ ගසයි.)

“ඔව් තමුන්නාසේලාට අපිට ඒ යුගය හොඳට මතකයි. මේ හැම හන්දියකම ටයර්වල තරුණ ජීවිත පිච්චුනා. මම මාතර උසාවියේ වැඩ කරන කාලේ දවසක් දා තංගල්ලේ ඉඳලා මාතරට එන්න පිටත් වුණා. හන්දිවල පිච්චෙන මළසිරුරු මම ගණන් කළා. තංගල්ලේ ඉඳලා මාතරට හැතැප්ම 28යි. ඒ දිගට මළ සිරුරු 28යි. තාත්තාගේ යුගය නැවත ආවොත් කොහොමට හිටීද? මනුස්සයෙක් මැරුණම මිනිස්සු රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කනව මම දැක්කේ ප්‍රේමදාස මහත්තයා මැරුණ දවසෙයි.
අපි කෙරෙහි විශ්වාසය තබන්න. අපිව ඉහළින්ම ජයග්‍රහණය කරවන්න. රට වෙනුවෙන් යුතුකම ඉටුකිරීමට අපි සූදානම්” යැයි ද ඔහු කීය.

ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා : “සාමකාමී රටක් දියුණු ආර්ථිකයක් හදන්න පොරොන්දු වී සිටින වෙලාවකදී අපි අශෝබනව හැසිරීම විරුද්ධවාදීන්ට ශක්තිය දීමක් වෙනවා. අපිට ලැබීමට තිබෙන සියලුම ඡන්ද එකතු කරගන්න ඕනෑ. නමුත් කුමන්ත්‍රණකරුවන්ගේ බලවේගවලට යට වුණොත් අපිට ඒක කරගන්න බැරි වෙනවා.

ශ්‍රීල.නි.ප.ය. ආරම්භ කළේ බන්ඩාරණායක මහතා හා මගේ පියයි. මහින්ද රාජපක්‍ෂ මහතා දෙවරක් ජනාධිපති ධුරයට පත් වුණේ එම පක්‍ෂයෙන්. දැන් ශ්‍රී.ල.නි.පය අයත් සමග එකතු වී තිබෙනවා. ඒ නිසා අපගේ ඡන්ද පදනම සියයට 70 දක්වා වැඩි කරගන්න අපිට හැකිවී තිබෙනවා.

තිස් අවුරුදු යුද්ධය පරාජය කර සැම කෙනකුටම නිදහසේ ජීවත්විය හැකි තත්ත්වයක් ඇති කළා. නමුත් වත්මන් රජයේ පාලන ක්‍රමය යටතේ නැවත ජනතාව සෝදිසි කරන යුගයක් බිහිවෙලා. අප ප්‍රමුඛතාව ලබාදෙන්නේ සුරක්‍ෂිත රටක් බිහිකිරීමටයි. ලිබරල්වාදී ඇමැතිවරු ඉන්නකම්ම ජාතික ආරක්‍ෂාවට පුමුඛතාව දෙන්න මේ ආණ්ඩුවට බැහැ. ආරක්‍ෂිත රටක් බිහිකළ හැක්කේ විජාතික අදහස්වලට ගැති නොවූ නායකත්වයකට පමණයි.

ඉකුත් රජය රණවිරුවන්ගේ අභිමානය වෙනුවෙන් කටයුතු කළා. නමුත් වත්මන් රජය රණවිරුවාගේ එම අභිමානය නැතිකරලා රණවිරුවා ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට අවශ්‍ය කටයුතු කළා. නමුත් අපගේ රජයක් යටතේ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයෙන් නිදහස් කරගෙන රටේ බුද්ධි අංශ ශක්තිමත් කරනවා.

රටක ස්ථාවර බවක් නැත්නම් ආයෝජකයන් සංචාරකයන් රටට එන්නේ නැහැ. කඩා වැටුණු ආර්ථිකය ගොඩගන්න පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස්කර තිබෙනවා. මේ රටේ තුනෙන් එකක ජනතාවක් යැපෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. ඒ නිසා මහින්ද රාජපක්‍ෂ රජය කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාව ලබා දුන්නා. නමුත් මේ රජය කෘෂිකර්මාන්තය පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැහැ.

ඉදිරියේදී විදේශීය ආර්ථික භෝග මත යැපෙන්න අපට බැරි යුගයක් ඇතිවෙනවා. ඒ නිසා ආහාර සුරක්‍ෂිත කිරීමට අප ක්‍රියා කරනවා. ගොවියා දිරිමත් කර රට ආහාරවලින් ස්වයංපෝෂිත කිරීමට අපි ක්‍රියා කරනවා. ඒ නිසා පොහොර සහනාධාරය නොමිලයේ ලබා දෙනවා. ගොවි ණය සියල්ලම කපා හරිනවා. ගොවි රක්‍ෂණය නැවත ඇති කරනවා. එමෙන්ම වගා ණය ලබා දෙනවා. ගොවියා විශාල මුදලක් වැයකර වගා කටයුතු කළත් භෝග විකුණාගන්න බැහැ. ඒ නිසා ගොවියා හැමදාම දුප්පත්. නව තාක්‍ෂණය හරහා ආහාර සුරක්‍ෂිත කිරීමටත් ගුණාත්මක බවින් වැඩි බීජ වර්ග හඳුන්වා දීමටත් අපි ක්‍රියා කරනවා.

අප ඉදිරිපත් කර තිබෙන ආර්ථික සැලැස්ම අනුව හැම තලයකම සිටින ජනතාව ඉහළට ගැනීමට අපි ක්‍රියා කරනවා. දුප්පත් ජනතාව ඉහළට ගැනීමට අපගේ සැලසුම් තිබෙනවා. එමෙන්ම තරුණ තරුණියන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. උසස් පෙළ විභාගය ද අසමත් වීම නිසා අසහනයට පත් තරුණ තරුණියන් විශාල පිරිසක් අප රටේ සිටිනවා. ඒ නිසා අපගේ පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල වශයෙන් ආයෝජනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන ලබාදීම තුළින් දියුණු ආර්ථිකයක් ගොඩනැගිය හැකිය. අපගේ ආර්ථික සැලසුම් සකස්වී තිබෙන්නේ මිනිස් සම්පත වටායි. ඒ නිසා උසස් අධ්‍යපනය ලබා ඉහළ වේතනක් ලැබිය හැකිවන පරිදි තරුණ පරපුර බලගැන්වීමට අප ක්‍රියා කරනවා.

මෙවර ජනාධිපතිවරණයේදී ඔබ ඔබගේ යුතුකම ඉටු කරන්න. සුරක්‍ෂිත රටක් බිහිකර මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්. අපට සෑම ඡන්දයක්ම වැදගත්. ඒ නිසා සෑම ඡන්දයක්ම එකතු කරන්න බුද්ධිමත්ව ක්‍රියා කරන ලෙස අප ඉල්ලීමක් කරනවා” යැයි ද ඔහු කීය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා : “ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම්කරන්න අපි පක්‍ෂය ඇතුළේ කුළල් කා ගත්තේ නැහැ. පක්‍ෂ නායකයන්ගේ, මහජනතාව හා රටේ සියලුම ක්‍ෂේත්‍රවල ජනතාවගේ ඉල්ලීම අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස නම් කළා.

අපට මේ ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ. විරුද්ධ පක්‍ෂයේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස නම් කර තිබෙනවා. ජනාධිපතිවරයෙක් විය යුත්තේ පරිනත නායකයෙක්. නමුත් සජිත් ප්‍රේමදාසගේ කතා ඇහෙනකොට සංසාරෙත් එක්ක එපා වෙනවා.

ගෝඨාභයට මහින්දට විරුද්ධව හොරු ටික එකට එකතු වෙලා ඔවුන් තවමත් කරන්නේ රාජපක්‍ෂවරුන්ට හා අපට මඩ ගැසීිම පමණයි. සජිත් මෙහෙයවූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට අන්ත පරාජයක් අත්වුණා. රනිල් වික්‍රමසිංහ ගත්ත ඡන්ද ටිකවත් පක්‍ෂයට අරගෙන දෙන්න සජිත් ප්‍රේමදාසට බැරි වුණා.

සුරක්‍ෂිත රටක් ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීමට නම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අනිවාර්යෙන් ජනාධිපති ධුරයට පත්විය යුතුයි” යැයි ද ඔහු කීය.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මෙසේ පැවැසීය.

“මේ ආණ්ඩුවෙන් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්න බැරිවුණා. අපි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් සියයට 70ක් ඡන්ද ලබාගෙන තිබියදී එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසගේ මෙහෙයවීම යටතේ ඒ පක්‍ෂය ලබා ගත්තේ ඡන්ද සියයට 27යි.

අවුරුදු හතරක් නිදාගෙන සිටි සජිත් ප්‍රේමදාස අද නින්දෙන් නැගිටලා ගොවින් ගැන කතා කරනවා. මේ රටේ ගොවින් ගැන කතා කරන්න අයිතියක් තියෙන්නේ මහින්ද රාජපක්‍ෂට විතරයි. මේ රජය ගොවින්ගේ සහනාධාර කපා දැම්මා. නමුත් අපගේ රජයක් යටතේ පොහොර සහනාධාර නොමිලයේ ලබා දෙනවා. එමෙන්ම වී සඳහා සහතික මිලක් ලබා දෙනවා. තමන්ගේ ආණ්ඩුවේ හොරු නැති බව සජිත් ප්‍රේමදාස කියනවා. කෑලෑ කපපු, මහ බැංකු කොල්ල කාපු සියලුම දෙනා ගොනුවෙලා ඉන්නේ ඔහුගේ කඳවුරේ. ඔහුට සාමාන්‍ය දැනීමක් නැහැ. පුළුවන්නම් තමන්ගේ අධ්‍යාපන සහතික ජනතාවට ඉදිරිපත් කරන ලෙස සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා” යැයි ද ඔහු පැවැසීය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක මහතා : “මේ ජයග්‍රහණය ලබන්නේ තාරානාත් බස්නායක නෙමෙයි. තමුන්නාසේලායි. මේ සටනින් අපි ජය නොගත්තොත් එ.ජා.පය අපිට එළවා එළවා ගහනවා. ඒ නිසා පුද්ගලික වාද භේද පසෙක දමා අපි එකාවන්ව කටයුතු කළ යුතුයි.

මේ අන්තිම සටන ජය ගැනීමට අපි කැපවී කටයුතු කරනවා. සියලුම දෙනා එකට එකතුවෙමු.”
 
ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක අසංක නවරත්න මහතා :
“මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවීමට අපි 2015 වසරේ සිට කටයුතු කළා. ඒ වෙනුවෙන් මහින්ද සුළඟ රැස්වීම් මාලාව රට පුරාම ගෙනිච්චා. නමුත් මේ මොහොතේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත්ව තිබෙනවා. ඔහු ජාතික අපේක්‍ෂකයෙක්. වැටුණු රට නැවත ගොඩ ගත හැක්කේ ඔහුගේ හා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජයකට පමණයි” යැයි ද ඔහු කීය.

අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද හිටපු අමාත්‍යවරුන්වන බන්දුල බස්නායක, ජයරත්න හේරත්, හිටපු ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

 



අදහස් (0)

“ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න.මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්“

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 124 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 942 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1189 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 354 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1119 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site