IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අපේ කාලයේ මේ විදියට ඩෙංගු පැතිරුණේ නෑ

හිටපු ජනපති අඟුණකොළපෑලැස්සේදී කියයි

(අඟුණකොළපෑලැස්ස විමල් ගරුසිංහ, කසාගල අශෝක තිලකරත්න)

මේ වනවිට ඩෙංගු උවදුර සීග‍්‍රයෙන් පැතිර යාම පටන් ගෙන ඇති අතර දිනකට දහසකට අධික පිරිසක් ඩෙංගු උවදුරට ගොදුරු වන බවත් තම රජය පැවැති අවධියේ මෙවැනි වසංගත රෝග පැතිර නොගියේ ඒවා ගැන සොයා බලා නිසි පියවර ගැනීමට පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් සිටි නිසා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා (18) අඟුණකොළපෑලැස්ස පුරහලේ පැවැති ජනහමුවකදී පැවසීය.

දකුණු පළාත් සභා මන්ත‍්‍රී ඩී.වී. උපුල් මහතා විසින් සංවිධානය කර තිබූ මෙම ජනහමුවට විශාල පිරිසක් සහභාගී වූහ.

තමන් මහජන මතයට කන් දී නියමිත පරිදි මැතිවරණ පැවැත්වූ බව ද එහෙත් මේ රජය ජන මතයට පිටු පා පළාත් පාලන මැතිවරණ කල් දැමීමෙන් සෑම අතකින්ම පීඩාවට පත් වන්නේ ජනතාව බව ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එදා වීවලට හොඳ මිලක් තිබුණා. රජය සහිතක මිලට වී මිලදී ගන්නා විට පෞද්ගලික වෙළෙඳුන් ඊට වඩා වැඩි මිලකට වී මිලදී ගත්තා. ගොවියාට පොහොර සහනාධාරය දුන්නා. අද මේ රජය පොහොර බර ගොවියා පිට පටවලා. දැන් පොහොර සහනාධාරය කපලා. පාසල් ළමයින්ගේ නිල ඇඳුම් සහනාධාරයත් මේ රජය කැපුවා. අන්තිමට මේ රජය දුප්පතාට ලබාදෙන පිං පඩියෙනුත් රුපියල් සීයක් කපා ගන්නවා. මේ අන්දමට යහපාලන රජය සහනාධාර කපාගෙන යනවා.

එදා අපි ආණ්ඩුව ගන්නාවිට තුවක්කුවලට පතරොම් තිබුණෙ නෑ. ඒක නිසා අපිට යුද්ධ කරන්න බෑ. ආයුධ මදි. සේනාව මදි. ආර්ථිකය වැටිච්ච නිසා සල්ලි නෑ කියා අපි පසුගිය ආණ්ඩුවට බැණ බැණ හිටිය නම් අපි තවමත් යුද්ධයෙන් බැට කකා ඉන්නවා. අපි මේවා ඉදිරියේ පසුනොබැස එඩිතරව සටන් කරලා කොටින්ගෙන් රට බේරා ගත්තා. යුද්ධයෙන් ජය ගත්තා. ජනතාවට නිදහස ලැබුණා. දැන් ජනතාව බියෙන් සැකෙන් තොරව ජීවත් වෙනවා.

එදා අපි ණය ගත්තේ රට හදන්න. ණය ගෙවන්න පුළුවන් ආර්ථික ශක්තියක් අපිට තිබුණා. අපි එදා වරාය, ගුවන්තොටුපළ, ක‍්‍රීඩාපිටි, අධිවේගී මාර්ග හැදුවා. මේවා ආසන්නයෙන් ජීවත් වන ජනතාවගේ ඉඩම්වලට හොඳ මිලක් ලැබුණා. ඔවුන්ට හොඳ ආදායමක් ලැබුණා. මේ අන්දමට යුද්ධය අවසන් වී රට දියුණු වනවිට විදේශිකයන් අප රටට එන්න පටන් ගත්තා.

තියෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ නැතිව පැවති ආණ්ඩුවලට බනින ලෝකයේ එකම ආණ්ඩුව තමයි මේ යහපාලන ආණ්ඩුව. 2005 දී මම ආණ්ඩුව ගන්නා විටත් ප‍්‍රශ්න තිබුණා. ණය තිබුණා. යුද්ධය තිබුණා. ජනතාවට දුන්න පොරොන්දු එදා අපි ඉටු කළා.

ඒක තමයි රජයක වගකීම.

අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ දැන් ජනතාවට සැකයක් ඇති වෙලා තියෙනවා. අධිකරණය තමන්ගේ විශ්වාසය බිඳ ගත්තොත් ඒක රටකට එතරම් හොඳ දෙයක් නොවෙයි.

එදා ශ්‍රී.ලං.නි.ප.ය. මෙහෙය වුවේ අපියි. ඒ නිසා තමයි අපි 96ක් ගත්තේ. එදා අපිට දින්නන බැරි වුණේ යම් යම් හේතූන් කියයි. පක්ෂයේ ලේකම්, සන්ධානයේ ලේකම් ඉවත් කිරීම නිසා ඇති වුණ තත්ත්වය අමුතුවෙන් කියන්න බැහැ. ශ්‍රී.ල.නි.ප.යේ. කොටසක් ඒ පැත්තට ගියා. බහුතරයක් අපිත් සමග ඉන්නවා. එ.ජා.පයට මේ පැත්තෙන් ගිය අය කළ යුත්තේ රට විකිණීම හෝ බෙදීම නොවෙයි.

මම අඟුණකොළපෑලැස්සට ජාත්‍යන්තර ක‍්‍රීඩා පිටියක් ගෙන්න හැදුවා. නමුත් මෙහේ ඉන්නා ඇතැම් අය ඒකට විරුද්ධ වෙලා මුල් ගල තැබූ දා රාත‍්‍රී මුල්ගල කුඩු කර දැම්මා. පසුව අපි ඒ ක‍්‍රීඩාපිටිය සූරියවැවට ගෙන ගියා.

අඟුණකොළපෑලැස්සට මොකක් හරි දෙන්න  ඕන නිසා මම සුපිරි බන්ධනාගාරයක් ගෙනාවා. නමුත් ඒ බන්ධනාගාරය නම් තවම විවෘත කර නෑ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යහපාලන රජයට බාර දුන්නේ කිසිම ප‍්‍රශ්නයක් නැති රටක්. එදා ඛනිජ තෙල් බැරලයකට ගෙව්වෙ ඩොලර් 127 යි. මේ ආණ්ඩුව ආවට පසු ලෝක වෙළඳපොළේ තෙල් මිල අසාමාන්‍ය ලෙස පහත වැටුණා. අපේ ආණ්ඩුව තිබුණ කාලේ තෙල් ගෙන්වන්න වැය වූ මුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 මේ අවුරුදු දෙකට ඉතිරිවෙලා තියෙනවා. මේ සල්ලිවලින් කිසිම ප‍්‍රශ්නයක් නැතිව අපේ රටේ අවුරුද්දකට ගෙවන්න තියෙන විදේශ ණය වාරික හා පොළී ගෙවන්න පුළුවන්.

මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, ජාතික උරුමයක් වෙලා තියෙන තැපැල් කන්තෝරු ටිකත් විකුණගෙන කන්න තමයි මේ රජය හදන්නේ. අද මේ රටේ කිසිම ආදායම් මාර්ගයක් නෑ. සංවර්ධනය නතර වෙලා. මේ රට නැවත ගොඩ ගැනීමට හැකි වන්නේ මහින්ද රාජපක්ෂ මහතාටයි.

මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කරලා වැටී තිබුණු ආර්ථිකය නැගිට්ටෙව්වා. ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් උදා කළා. එතුමට කරන්න බැරි වුණේ එල්.ටී.ටී.ඊ. ඩයස් පෝරාව පරාජය කිරීම පමණයි.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු යුද්ධය අවසන් කළ රණවිරුවන්ගෙන් මේ රජය එළව එළවා පළි ගන්නවා. රණවිරුවෝ එෆ්.සී.අයි.ඞී. එකට අරන් ගිහින් බංකුවල වාඩි කරවලා තියනවා. බුද්ධි අංශ රණවිරුවොත් අද එෆ්.සී.අයි.ඞී.යට අරන් යනවා.

දරුණු ත‍්‍රස්තවාදියෙක් පැන ගිය අවස්ථාවේ රාජකාරියට අනුව මේජර් විමල් වික‍්‍රමගේ ත‍්‍රස්තවාදියාට වෙඩි තිබ්බා. ඒ වරදට ඔහුට ඒ ත‍්‍රස්තවාදියාට තම පෞද්ගලික මුදලින් රුපියල් විසි ලක්ෂයක් ගෙවන්න සිද්ධ වුණා.

ඒ මුදල නොගෙව්වොත් ඔහුට හිරේ යන්න සිදු වුණා. නමුත් මේ රට කළගුණ දන්නා ජනතාව ඒ මුදල ගෙවා ඔහුව නිදහස් කර ගත්තා. කළගුණ දන්නා මේ රටේ ජනතාව දිවි හිමියෙන් රණවිරුවන් ආරක්ෂා කරනවා.

පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා- මේ රජය කියනවා අලූතෙන් නීති ගේනවා කියා. අලූත් නීති  ඕනෑ නෑ. දණ්ඩනීති සංග‍්‍රහයේ තියෙන නීති හොඳටම ඇති. තියෙන නීති ක‍්‍රියාත්මක කරන්නේ නෑ. මේ නීති ක‍්‍රියාත්මක කරන්න ජනාධිපතිත් අගමැතිත් පොලිසියට කියනවා. මේක විහිළුවක්.

කුණු ඉවත් කරන්න බැරි රජයක් කියනවා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බව. සරළ ප‍්‍රශ්නයක්වත් විසඳන්න බැරි රජයක් මේක. කුණු ඉවත් කරන එක ප‍්‍රාදේශීය සභාවෙන් කරන වැඩක්. මේ රජයට ඒකවත් කරන්න බෑ. රට පුරා ඩෙංගු පැතිර යනවා. මේ රජයට ගංවතුර ගැන කිසි දෙයක් කරගන්න බැරි වුණා. මාධ්‍ය ආයතන, භික්ෂූන් වහන්සේලා, සිවිල් සංවිධාන යනාදිය තමයි ගංවතුර උවදුරේදී ක‍්‍රියාත්මක වුණේ.

ජනතාවට ප‍්‍රයෝජනවත් කිසි දෙයක් මේ රජයට කරන්න බෑ. රජය කරන්නේ සාක්කු පුරව ගන්න එක විතරයි. මතු උපදින පරම්පරාවටත් මේවට වන්දි ගෙවන්න වෙනවා. රජය ජනතාවගේ සල්ලි ගසා කනවා.

 ගංවතුරට වියදම් කරපු සල්ලිවලට වඩා ඇමැතිවරු අට දෙනෙකුට වාහන ගේන්න යහපාලන රජය මුදල් වෙන් කරලා. මේවා ශ්‍රී.ලංනි.ප. ප‍්‍රතිපත්ති ද? ශ්‍රී.ලං.නි.ප. ප‍්‍රතිපත්ති තියෙන්නේ කොහේද? බලන්න මැතිවරණයක් පවත්වන්න. මැතිවරණ පවත්වන්න රජය බයයි. මැතිවරණ පැවැත්වුවොත් පරාද වෙන බව රජය දන්නවා.

හිටපු කතානායක හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ, හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඞී.බී. චානක, නිරෝෂන් පේ‍්‍රමරත්න, දකුණු පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන සිංහ සමන් කුමාර, ඞී.වී. උපුල් සහ අගුණකොළපෑලැස්ස හිටපු ප‍්‍රාදේශීය සභා සභාපති විජේරත්න මුණසිංහ, හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී පේ‍්‍රමදාස අලහප්පෙරුම යන මහත්වරු ද මෙහිදී කතා කළහ.



අදහස් (3)

අපේ කාලයේ මේ විදියට ඩෙංගු පැතිරුණේ නෑ

shan saudi Tuesday, 20 June 2017 07:53 AM

ඒ කලේ පැතිරුනේ ගනිකවෝයි සල්ලයෝයි හොරුයිනේ

:       38       67

arunalu Tuesday, 20 June 2017 10:50 AM

ඔබ තුමාගේ කතාවත් එක්ක සියේට සීයක්ම අපි එකගයි. 2015 දී මිනිස්සු පරාජය කලේ ඔබ තුමාව නෙමෙ. ඔබ තුමා වටේ හිටිය කිනිතුල්ලන්වයි.

:       0       34

victor Wednesday, 28 June 2017 07:09 AM

ඒ කාලේ පැතිරුනේ ඩෙංගු නෙවෙයි...හොර වංචා, දූෂණ, මිනි මැරීම්, සුදු වෑන් වගේ දේවල්නේ...

:       54       268

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site