රටපුරා දිගින් දිගටම කොරෝනා පැතිර යමින් තිබෙන තත්ත්වයක් තුළ ගෙවී ගිය සතිය පුරාවටම ජනතාවට පරෙස්සමෙන් කල් ගෙවීමට සිදු විය. ඉකුත් සති අන්තයේදී රටපුරා සංචරණ තහනම් කිරීම නිසා දේශපාලන වැඩසටහන් හෝ වෙනත් කටයුතු කිසිවක් සිදුවූයේ නැත. ආණ්ඩුවේ උපදෙස් පරිදි රජයේ මැති ඇමැතිවරු කොරෝනා රෝගීන්ගේ අවශ්‍යතා සොයා බැලීමටත් එන්නත්කරණ වැඩසටහනට සහාය දීමටත් පියවර ගත්හ.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මෙරටට ලබා නොදෙන්නැයි ද ඉන් බොහෝ අතුරුඵල සිදුවිය හැකි යැයි ද විශේෂඥ වෛද්‍යවරු මීට මාස කීපයකට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. ඖෂධ නියාමන අධිකාරිය ද මුල දී සයිනොෆාම් එන්නත සඳහා අනුමැතිය ලබා දුන්නේ නැත. කෙසේ වෙතත් පසුව ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සයිනොෆාම් එන්නත සඳහා ලැබුණේය. එහෙත් රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඒ පිළිබඳව විවේචන ඉදිරිපත් කළේය. ‘ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයන් අයින් කළා. ඊට අලුත් පිරිසක් දැම්මා. ඒක කළේ චීන එන්නතට අනුමැතිය ලබාගන්න. මේක බරපතළ තත්ත්වයක්’ ආදී ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයටය චෝදනා කරන්නට පටන් ගත්තේය.

රජය වෙනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමනය. ‘මෙතන හිටපු සෞඛ්‍ය ඇමැතිගේ හිතවතුන් පිරිසක් ඉන්නවා. මේ අය රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න පටන්ගෙන තිබෙනවා. චීන එන්නත අපි මුල දී මෙරට චීන ව්‍යාපෘතිවල වැඩකරන චීන කම්කරුවන්ට ලබා දුන්නා. කිසි කෙනකුට අතුරු ආබාධයක් හැදුණු බවට පැමිණිල්ලක් ආවේ නැහැ.’ ආදී ලෙස චන්න ජයසුමන රාජ්‍ය ඇමැතිවරයා ආණ්ඩුවේ අදහස් ප්‍රකාශ කළේය.
 කෙසේ වෙතත් ආණ්ඩුව පියවරක් ඉදිරියට ගෙන සයිනොෆාම් එන්නත මෙරට වැසියන්ට ලබා දීමට කටයුතු කළේය. මේ වන විට සාර්ථකව එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වන අතර සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ එන්නත් ලබාගත් කිසිවකුටත් අතුරු බලපෑමක් ඇති වූ බවට පැමිණිලි නොලැබී ඇති බවය. මේ අතර චීනය ප්‍රකාශ කර ඇත්තේ තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ පහක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඉකුත්ද‌ා සංචාරක ඇමැති ප්‍රසන්නට දුරකතන ඇමතුමක් දුන්නේය. ‘ප්‍රසන්න මොකක්ද මේ ගම්පහ හොස්පිට්ල් එකේ ඔක්සිජන් කතාව. ඔක්සිජන් හිඟයක් තිබෙන බවට කතාවක් යනවා.’ බැසිල් කීවේය. ගම්පහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු ඉකුත් ද‌ා මුහුණු පොතේ සටහනක් තබා තිබිණි. එම සංවේදී සටහනේ කියා තිබුණේ කොරෝනා රෝගීන්ට රෝහලේ දී මුහුණ පෑමට සිදුවන ඛේදජනක කතාවකි. ඇතැම් රෝගීන් හිටිගමන් අසාධ්‍ය තත්ත්වයට පත්වන බවත් ඇතැම් විට ඔක්සිජන් නොමැති වුවහොත් ඔවුන්ට මිය යාමට සිදුවන බවත් එම වෛද්‍යවරයා මුහුණු පොතේ සටහන් කර තිබුණේය. බැසිල් ඇසුවේ ඒ පිළිබඳවය. ‘සර් මම ඔය ගැන හෙව්වා.

ඩොක්ටර්ස්ලා කියන්නේ වෙන කතාවක්. ඔය කියන ඩොක්ටර් ඉංග්‍රීසි භාෂාවෙන් ෆේස්බුක් එකක තබපු සටහනක් සිංහලයට පරිවර්තනය කරද්දි යම් වැරැද්දක් වෙලා තිබෙනවාලු.’ ප්‍රසන්න රණතුංග කීවේය.

‘‘මම ඔය ගැන දිස්ත්‍රික් ලේකම්තුමාටත් කතා කළා. අපි ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්වල තිබෙන අඩුපාඩු ගැන කතා කරනවා. අඩුපාඩු තිබෙනවා නම් ඒ ගැන පියවර ගන්නවා.’ යැයි ප්‍රසන්න කීවේය. ‘ඒක හොඳයි ඉක්මනින් ඒ ගැන අවශ්‍ය කටයුතු කරන්න. මොනවා හරි තියෙනවා නම් මාවත් දැනුවත් කරන්න.’ බැසිල් කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් අඟහරුවාද‌ා විශේෂ කැබිනට් හමුවක් කැඳවා තිබිණ. අමාත්‍ය මණ්ඩලය කැඳවා තිබුණේ පසුදින එනම් බද‌ාද‌ා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ ‘පෝට් සිටි කොමිෂන් සභා’ පනත් කෙටුම්පත ගැන සාකච්ඡා කරන්නටය. පෝට් සිටි කොමිෂන් සභා පනත් කෙටුම්පත ගැන දේශපාලන කරළියේ  බොහෝ වාද විවාද මත ගැටුම් සිදු වූයේය. විපක්ෂයේ දේශපාලනඥයන් තර්ක කළේ රටේ පවතින බොහෝ අණපනත් කොළඹ වරාය නගරයට බලනොපාන ආකාරයෙන් මෙම පනත සකස් කර තිබෙන බවය. එම පනත හරහා කොමිෂන් සභාවට සුවිශේෂ බලතල රැසක් හිමිවන බවත් එය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටත් විපක්ෂයේ දේශපාලන පක්ෂ රජයට චෝදනා කළේය.

තවත් පිරිසක් එම පනත් කෙටුම්පතට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ. කෙසේ වෙතත් පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සිදු කළ යුතු සංශෝධන පසුදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම එහිදී සිදුවිය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කීවේ නීතිපතිවරයා විසින් අද‌ාළ පනත් කෙටුම්පතට සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බවය. නීතිපතිවරයාගේ සංශෝධන ද අද‌ාළ පනත් කෙටුම්පතට ඇතුළත් කරන ලෙස ද එහිදී ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලයට දැනුම් දුන්නේය. ‘වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අද‌ාළව ඉදිරිපත් කර තිබෙන සියලු සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කරන්න’ ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

 කැබිනට් රැස්වීමේ දී වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳව ඇමැතිවරු අදහස් දැක් වූහ. ඒ අවස්ථාවේ අදහස් දැක්වූ ඇමැති ජී.එල්. පීරිස් ‘රජය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥ‌ාවක් දීලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන් සියලු සංශෝධන පිළිගන්නා බවටත් ඒවා පනත් කෙටුම්පතට ඇතුළත් කරගන්න බවටත්’ යැයි ජී.එල්. කීවේය. ඉන්පසුව අදහස් දැක්වූ ඇමැති බන්දුල ගුණවර්ධන කීවේ ‘කොමිෂන් සභාවේ සංයුතිය පිළිබඳව සාකච්ඡාවක් තිබෙනවා. ඔබතුමා ජනාධිපතිධුරයේ සිටිනතාක් කල් සභාපතිධුරය ගැන ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නැහැ. එහෙත් වෙනත් ජනාධිපතිවරයෙක් මොන විදිහට කටයුතු කරාවිදැයි දන්නෙ නැහැ. ඒ නිසා වරාය නගර කොමිෂන් සභාවේ සභාපතිවරයා අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකිකයෙක් විය යුතුයි කියන වගන්තිය මේ පනත් කෙටුම්පතට ඇතුළත් විය යුතුයි. විද්වතුන්ගෙ මතය ඒකයි. යැයි බන්දුල කී කතාවට වාසුදේව නානායක්කාර ඇමැතිවරයා අගුල්පත් තැබීය. ‘ඒක හොඳ යෝජනාවක්. ඒ වගේම බහුතරය ශ්‍රී ලාංකික විය යුතුයි’ යැයි වාසුදේව කීවේය.

‘සභාපතිවරයා සහ කොමිෂන් සභාවේ සාමාජික බහුතරය ශ්‍රී ලාංකික විය යුතුයි කියලා වගන්තියක් ඇතුළත් කළ යුතුයි.’ යැයි උදය ගම්මන්පිල කීවේය. ‘මෙතනදී විගණකාධිපතිවරයාගේ තීරණය සම්පූර්ණයෙන්ම බලාත්මකයි. පනතට ප්‍රකාරව විගණන කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ජී.එල්. පීරිස් ඇමැතිවරයා කරුණු පැහැදිලි කළේය. පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ඇමති බන්දුල ගුණවර්ධන කරුණු පැහැදිලි කළේය.
‘වැඩි ඡන්ද ප්‍රමාණයකින් පනත සම්මත වීම නිසා ජාත්‍යන්තරයේ ප්‍රසාදයක් ඇති වෙනවා. ආයෝජන අවස්ථා වැඩිකර ගැනීමට ඒක අත්‍යවශ්‍යයි.’ යැයි ද බන්දුල කීවේය.

ඉන් අනතුරුව අදහස් දැක්වූයේ මහින්ද‌ානන්ද අලුත්ගමගේ ඇමැතිවරයාය. ‘වැඩි ඡන්ද ප්‍රමාණයක් ගන්නවා වගේම පාර්ලිමේන්තුවේ හරවත් විවාදයකුත් අවශ්‍යයි. විවාදයෙන් ජය ගන්නත් ඕනේ. නැත්නම් මේ තරම් රටේ ආර්ථිකයට වැඩද‌ායි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේදී විපක්ෂය හෑල්ලුවට ලක්කරන්න පුළුවන්.’ යැයි මහින්ද‌ානන්ද කීවේය.

ඉන් අනතුරුව වරාය නගරය තුළ ක්‍රියාත්මක වන ආයෝජන ව්‍යාපෘති සඳහා සේවකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ද ඇමැතිවරු සාකච්ඡා කළහ. වාසුදේව නානායක්කාර ඇමැතිවරයා එහිදී කීවේ සේවක සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සඳහන් කිරීම වඩාත් සුදුසු බවය. ‘ජනාධිපතිතුමනි සේවක සංඛ්‍යාව සම්බන්ධයෙන් නීති රෙගුලාසි සකස් කෙරෙන තෙක් බහුතර රැකියා අවස්ථා ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට හිමි විය යුතු බව දැනුම් දිය යුතුයි.’ යැයි ද වාසුදේව කීවේය.

 වරාය නගර කෙටුම්පත සම්බන්ධයෙන් වූ සාකච්ඡාවෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවූයේ නීතිපතිවරයා ගැනය. නීතිපතිවරයා විශ්‍රාම යෑමට සතියක පමණ කාලයක් තිබිය දී විශේෂ කරුණක් ප්‍රකාශ කර තිබිණ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පැවරීමට නොහැකි වූයේ පොලිසිය නිසි ලෙස වාර්තා ඉදිරිපත් නොකිරීම නිසා යැයි නීතිපති දප්පුල ද ලිවේරා කියා තිබුණේය. ජනාධිපති කොමිසම සහ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පත්කළ අනුකමිටු වාර්තාව මගින් නඩු පැවරීමේ බලය නීතිපතිවරයාට ලබා දී තිබෙන අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් කිරීම ගැන ඇමැතිවරු එහිදී අසතුට ප්‍රකාශ කළහ.

නීතිපතිවරයාගේ ප්‍රකාශයෙන් රජය අපහසුතාවකට පත්වන බව ද එහිදී ඇමැතිවරු කීහ.

මේ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා සිද්ධ වෙනවා. පොලිසිය බාර ඇමැතිවරයා ලෙස මම මේ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරනවා. ‘සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවලින් සියයට හැත්තෑ පහක පමණ ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. එහෙම අවස්ථාවක නීතිපතිවරයා කරපු ප්‍රකාශය ප්‍රශ්නයක්’ යැයි සරත් වීරසේකර ඇමැතිවරු හමුවේ කීවේය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කීවේ පාස්කුද‌ා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කිරීමට පියවර ගත්තේ තමන්ගේ රජය බලයට පත් වූ පසුව බවය. පාස්කු සිද්ධියට අද‌ාළව බඩු ගෙන්වීම සම්බන්ධයෙන් වන ලිපිගොනු පොලිසියේ නැති බවට මාධ්‍ය වාර්තා පළවන බව ද එහි දී ඇමැතිවරු ජනාධිපතිවරයාට කීවේය.
 ‘කඩු 1440 ක් ගෙනවිත් තිබුණා. ඒවා සිල්ලර කඩවලට දීලා තිබුණා. ‘ඒවා කඩු නෙවෙයි නේද’ යැයි එහි දී ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.’ ඒවා පොල්කඩන ඒවා. ඒ කඩුවලින් 300 ක් ඊබ්‍රහිම්ගෙ පුතා පල්ලිවලට බෙද‌ා දී තිබුණා.’ යැයි සරත් වීරසේකර ඇමැතිවරයා පිළිතුරු දුන්නේය.

 කොරෝනා වසංගතය නිසා රටපුරා සංචරණ සීමා පනවා තිබූ කාලයේ ඇතිවූ කාලගුණික තත්ත්වය නිසා හදිසි විදුලි බිඳවැටීම් හතළිස් දහසක් සිදුවුණේ යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා එහි දී කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය. ‘එකවරම මෙතරම් හදිසි බිඳවැටීම් සිදුවූ පළමු අවස්ථාව මෙයයි. හුදකලා කළ ප්‍රදේශවලටත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලටත් මේ නිසා ප්‍රශ්න ඇතිවුණා. විදුලි සේවකයන් අවද‌ානම මැද සේවය කරනවා. ඒ නිසා ඔවුන්ට කොවිඩ් එන්නත ලබාදෙන්න කියා ඉල්ලා සිටිනවා.’ යැයි ද ඩලස් කීවේය. ඩලස්ගේ ඉල්ලීමට ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය. ‘එන්නතකින් ප්‍රතිශක්තිය ඇතිවෙන්න සති තුනක පමණ කාලයක් ගතවෙනවා. ඒ නිසා හදිසි බිඳවැටීම් ප්‍රතිසංස්කරණයට යන අයට ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දිය යුතුයි. විදුලි සේවකයන්ට හැකි ඉක්මනින් එන්නත් ලබා දෙන්න.’ යැයි ජනාධිපතිවරයා කීවේය.

විශේෂ කැබිනට් මණ්ඩල හමුවට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණ. ඒ සයිනොෆම් එන්නත මෙරට දී නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙනි.

 ‘ඔව් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගන්න මේක ඉවහල් වෙනවා. මෙම කැබිනට් පත්‍රිකාව අනුමත කළ යුතුයි. හැකි ඉක්මනින් ඊට අද‌ාළ පියවර ගත යුතුයි. සෞඛය ඇමැතිතුමිය ඒ ගැන බලන්න’ යැයි ජනාධිපතිවරයා කීවේය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමට එජාප නායකයෝ ඉකුත්ද‌ා සිරිකොතට රැස්වූහ. පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඇතුළු කණ්ඩායම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගැන සාකච්ඡා කළහ. අප්‍රේල් මස මුල් සතියේ දී සාකච්ඡා කළ පරිදි මැයි මස ආරම්භ කිරීමට සූද‌ානම් කර තිබූ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ජූනි මාසයේ සිට ආරම්භ කරන ලෙස රනිල් වික්‍රමසිංහ එහිදී උපදෙස් දුන්නේය. රනිල් වික්‍රමසිංහ එම සාකච්ඡාවට සම්බන්ධ වූයේ සුම් තාක්ෂණය ඔස්සේ සිය නිවසේ සිටය. ‘ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ වගේම පක්ෂ යාන්ත්‍රණයත් කොරෝනා ප්‍රශ්නය නිසා දිනෙන් දින කල් යනවා. එහෙත් අපට ජූනි මාසයේ සිටවත් මේ කටයුතු ආරම්භ කරන්න වේවි. එතන දී අපි බලන්න ඕනේ ජනතාව අතරට යන අලුත් වැඩපිළිවෙළක්. ජූනි මාසයේදීත් අපට කටයුතු කරන්න වෙන්නෙ නිරෝධායන නීතිවලට අනුවයි. ඒ නිසා ඊට වැඩපිළිවෙළක් සකස් කරන්න. මාධ්‍ය හා අන්තර්ජාලය ඔස්සේ ජනතාව අතරට යන්න කටයුතු කරමු.’ යැයි නායකයා කීවේය. පක්ෂය කටයුතු කරගෙන යන ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් මහලේකම් රංගේ බණ්ඩාර ඉදිරිපත් කළේය. සමාජ මාධ්‍ය ඔස්සේ පක්ෂයේ පණිවුඩය ගෙන යන ආකාරය ගැන නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන කරුණු ඉදිරිපත් කළේය.

පක්ෂයේ නිල පුවත්පත වන ‘සියරට’ පුවත්පත නැවත ආරම්භ කිරීම ගැන කරුණු කීවේ සමන් රත්නප්‍රියය.

මේ අතර ඉකුත්ද‌ා රනිල් වික්‍රමසිංහ සිය විදේශ මිතුරන් අමතමින් ශ්‍රී ලංකාවට වැක්සීන් ගෙන්වා ගැනීමට සාකච්ඡා කළේය. එහිදී විදේශ මිතුරන් රනිල්ට පොරොන්දු වී ඇත්තේ වැක්සීන්වලින් කොටසක් හෝ ශ්‍රී ලංකාවට ලැබීමට සලස්වන බවටය. එහෙත් ඊට ගතවන කාලය ගැන කිව නොහැකි බව ද ඔවුන් රනිල්ට ප්‍රකාශ කර තිබේ.

 මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් අඟහරුවාද‌ා රැස්විය. එහිදී විශේෂ සිද්ධියක් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවිය. ඒ මහරගම නගර සභාවේ ඉකුත් ද‌ා සිදුවූ ගුටිඇන ගැනීම පිළිබඳවය. මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරයකු අතර මෙම ගුටි බැට හුවමාරුව සිදුවිය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ ඒ පිළිබඳව අප්‍රසාදය පළ කළහ. ‘මහජන නියෝජිතයන්ගේ මෙම අභෝභන හැසිරීම ගැන ජනතාව අතර විරෝධයක් තිබෙනවා. ඇතැම් විට පාර්ලිමේන්තුවේ පවා මෙවැනි සිදුවීම් ඇතිවෙනවා.

පාර්ලිමේන්තුවේ මෙවැනි තත්ත්ව නිසා ජනතාවට පාර්ලිමේන්තු ක්‍රමය ගැන තිබෙන විශ්වාසය පලුඳු වෙනවා. පාර්ලිමේන්තුවේ සිද්ධීන් පිළිබඳව කතානායකවරයාට ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න පුළුවන්. එහෙත් පළාත් පාලන ආයතනවල මෙවැනි හැසිරීම් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගන්න බැහැ. පොලිසියට පුළුවන් අපරාධමය වරදක් ගැන කටයුතු කරන්න විතරයි’ යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දීර්ඝව කරුණු පැහැදිලි කළේය.

ඉන්පසුව මැතිවරණ කොමිසම තීන්දු කළේ එවැනි සිදුවීම් ගැන කනස්සල්ල පළකිරීමටය. එපමණක් නොව එවැනි කටයුතුවලට සම්බන්ධ වන මහජන නියෝජිතයන් පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගන්නැයි ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීමට ද මැතිවරණ කොමිසම තීන්දුවක් ගත්තේය.


(*** කස්තුරි)