IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


රෝසමලක තැවරුණු දේශප්‍රේමය: තන්ඩෙල්

පිච්චැර් පිස්සා

 

 

නාග චෛතන්‍යා සහ සායි පල්ලවි දකුණු ඉන්දියානු සිනමාවෙ ජනප්‍රියම නළු නිළි දෙපලක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ දෙන්නට වහ වැටුණු රසික රසිකාවියන් විශාල පිරිසක් අපේ රටෙත් ඉන්නවා. ඒ නිසාම ඔවුන් දෙදෙනා රඟපාපු අලුත්ම චිත්‍රපටයක් ගැන ලියන්න හිතුණා.
මේ සිනමාපටයේ නම "තන්ඩෙල්".  මේක තෙලිගු චිත්‍රපටයක්. තෙලිගු භාෂාවෙන් "තන්ඩෙල්" කියන්නෙ මුහුදු යාත්‍රාවක නායකයා කියන අරුත දෙන වචනයක්. තෙලිගු ජනප්‍රිය සිනමාවේ සම්මානනීය අධ්‍යක්ෂවරයකු වන චන්දූ මොන්දෙති අධ්‍යක්ෂණය කරපු තන්ඩෙල් ප්‍රදර්ශනය ආරම්භ කළේ පහුගිය (පෙබරවාරි) මාසේ.
මේ වසරේ මෙතෙක් තිරගත වූ තෙලිගු චිත්‍රපට අතරින් ආදායම් අතින් සිවුවැනි ස්ථානය දිනා සිටින්නේ මේ සිනමාපටය යි.
ලබන වසරේ පැවැත්වෙන සම්මාන උළෙලවල දී සම්මාන සඳහා නිර්දේශ වෙන්නත් ඉඩ තියෙනවා.

"තන්ඩෙල්" හඳුන්වන්නෙ ආදර කතාවක් රැගත් ක්‍රියාදාම චිත්‍රපටයක්  හැටියට. මුලින්ම මේකෙ කතන්දරේ ගැන කෙටියෙන් පොඩ්ඩක් කියල ඉන්නම්.
"තන්ඩෙල්"ට පසුබිම් වෙන්නෙ රාජු (නාග චෛතන්‍යා) සහ සත්‍යා (සායි පල්ලවි) දෙදෙනාගේ ආදර කතාව යි. මේ කතාව  දකුණු ඉන්දියාවෙ ධීවර ගම්මානයක් පසුබිම් කරගෙනයි දිගහැරෙන්නෙ.
රාජු කියන්නෙ මේ ගමේ ධීවරයන්ගෙ මුහුදු ගමන්වල දි ඒ ධීවර යාත්‍රාවලට  නායකත්වය දෙන තරුණ ධීවරයෙක්. ඔහු තමුන්ගෙ ප්‍රජාව තුළ කාගෙත් ආදරය, ගෞරවය දිනා ගත්තු, ඉතා ප්‍රියමනාප, උද්‍යෝගිමත්, ජවයෙන් පිරුණු, නිර්භීත කෙනෙක්.
ඔහු සහ ඉතා සුන්දර තරුණියක වන සත්‍යා අතර අපූරු ආදර සම්බන්ධයක් තියෙනවා. ඔවුන් මහත් වූ ආදරයෙන් එකිනෙකා හා බැඳී සිටින සොඳුරු ආදරවන්තයන් දෙදෙනෙක්.
නමුත් සියල්ල වෙනස් වෙන්න පටන් ගන්නෙ මේ ගම්මානයෙ එක ධීවරයෙක් මුහුදෙදි මරණයට පත්වීමත් සමග යි. මේ සිද්ධිය සත්‍යා තුළ දැඩි කම්පනයක් ඇති කරනවා. රාජුගේ ජීවිතය ගැනත් ඇය තුළ මහත් භීතියක් ඇතිවෙනවා. නිරන්තරයෙන් ඇය තුළ හොල්මන් කරන මේ භීතිය නිසා ඇය විඳවන්න පටන් ගන්නවා. මේ තත්වය තුළ ඇය ඔහුගෙන් එක ඉල්ලීමක් කරනවා.එනම් මුහුදු රස්සාව අතහැර වෙනත් රස්සාවක් හොයාගෙන තමුන් එක්ක සන්තෝසෙන් ජීවත්වෙන හැටියටයි.
සත්‍යාගෙ හිත සනසන්න රාජු ඇයට ඒ ගැන පොරොන්දු වෙනවා. නමුත් මේ පොරොන්දුව ඉෂ්ට කරන්න තමුන්ට බැරි බව පොරොන්දුව දෙද්දිම රාජු දන්නවා.
ඔහු ඇයට හොරෙන් මුහුදු යන්න සූදානම් වුණත් අනපේක්ෂිත ලෙස සත්‍යා  එහි කඩා වැදීම නිසා ඔහු ලොකු අර්බුදයකට මුහුණ දෙනවා. තමාට සැබැවින්ම ආදරේ නම් මේ ගමන අත්හරින ලෙස සත්‍යා බැගෑපත් වුණත්  රාජු ඇයගේ හිත හදන්න වෑයම් කරනවා. ඔහු පවසන්නේ තමා ධීවර කණ්ඩායමේ නායකයා නිසා එහි  වගකීම ඉටු නොකර සිටින්නට බැරි බව යි.
ඔහුට වඩාත් ලොකු තමාද, නායකකම ද කියල සත්‍යා එතැන දි ඔහුගෙන් අහනවා. මේක චිත්‍රපටයෙ තේමාව එක්ක බැඳුණු තීරණාත්මක ප්‍රශ්නයක් කියලයි මට දැනුණෙ.
කෙසේ නමුත් සත්‍යාගෙ විරුද්ධත්වය මැද්දෙම රාජු ගමන පිටත් වෙනවා. නමුත් ඒ හිතේ සතුටකින් නොවෙයි.  සත්‍යාගේ සිතට වේදනාවක් දෙන්නට සිදුවීම ඔහුට දරන්න ටිකක් අමාරුයි. මුහුදු ගමන තුළ, තෙරක් නොපෙනෙන මහ සාගරය මැද ඔහු දැවැන්ත මානසික පීඩාවකට මුහුණ දෙනවා. නායකත්වය,ඒ කියන්නෙ සමාජ වගකීම සහ ආදරය අතරෙ ඔහු අතරමං වෙනවා.
මෙතැන දී අධ්‍යක්ෂවරයා රාජුගේ  සිත් වේදනාව සහ අර්බුදය  අපිට පෙන්වන්නෙ ඉතාම අපූරු ගීතයක් හරහා යි. ඒක රාජු සත්‍යා වෙනුවෙන් ගයන ගීතයක් විදියටයි ඉදිරිපත් වෙන්නෙ. ඒකෙ එක තැනක මෙන්න මෙහෙම කියැවෙනව.

"මහ සාගරයෙ ප්‍රචණ්ඩ මුහුදු රළ එක්ක සටන් කරල එහි නොගිලී ඉන්න එක මට කජ්ජක් නෙවෙයි.
නමුත් ඔබේ කඳුළු සාගරය මැද්දෙ  මම ගිලාබත් වෙනවා"

දක්ෂ ගීත රචකයෙකු වන  ශ්‍රී මානි  යි මේක ලියල තියෙන්නෙ. ඒ වගේම තෙලිගු සිනමාවෙ ප්‍රතිභාපූර්ණ සංගීත අධ්‍යක්ෂවරයකු වන දේවි ශ්‍රී ප්‍රසාද් ගෙ ගීත නිර්මාණ ගැනත් මෙතනදි සඳහන් නොකරම බැහැ.
කෙසේ හෝ වේවා මේ මුහුදු ගමනෙදි රාජු ඇතුළු  පිරිස කිසිසේත් බලාපොරොත්තු නොවුණු අකරතැබ්බක් සිද්ධ වෙනවා.  එනම් ධාරාණිපාත වැසි සමග  එන මහා කුණාටුවකට හසු වී ඔවුන්ගේ යාත්‍රාව ගසාගෙන යාමයි.
මෙහි දී  එම යාත්‍රාව ඉන්දියානු මුහුදු සීමාවෙන් ඔබ්බට ඇදී ගොස්  පාකිස්තානු මුහුදු සීමාව තුළට ගසාගෙන යන අතර එහි දී මේ පිරිස පාකිස්තානයේ අත් අඩංගුවට පත් වෙලා සිරගත කෙරෙනවා.
චිත්‍රපටයෙ ඉතිරි කොටස දිග හැරෙන්නේ පාකිස්‍තාන සිරගෙදර දී රාජු සහ ඔහුගේ කණ්ඩායම මුහුණ දෙන කෲර ක්‍රියා, ඒවාට එරෙහිව කටයුතු කරන රාජු (තන්ඩෙල්) ගේ වික්‍රමයන්, ඉන්දියාවේ සිටින ඔවුන්ගේ අඹුදරුවන් ඇතුළු  සමීපතමයන් මුහුණ දෙන භාවමය සහ ආර්ථික ප්‍රශ්න, ධීවරයන් බේරා ගැනීම සඳහා සත්‍යා සහ ඉන්දීය බලධාරීන් ගන්නා උත්සාහයන් ආදිය හරහා යි.
ඉන්දියානු ජනප්‍රිය සිනමාව,විශේෂයෙන් දකුණු ඉන්දියානු ජනප්‍රිය සිනමාව මේ කාලයේ ඉතා විචිත්‍ර සහ වර්ණවත් ආකාරයෙන් වර්ධනය වෙමින් ඇති බව රහසක් නොවෙයි. ඉන්දියානු සිනමාලෝලීන් පමණක් නොව ලෝකයේ බොහෝ රටවල සිනමා රසික රසිකාවියන් වසඟයට ගැනීමට මේ චිත්‍රපටවලට හැකි වෙලා තියෙනවා. ලංකාව වගේ රටවල ජනප්‍රිය සිනමා ධාරාවන්ට ජයගන්න බැරි වුණු නිර්මාණාත්මක, තාක්ෂණික සහ අලෙවිකරණ අභියෝග ඉතා සාර්ථකව ජයගන්න ඔවුන්  සමත් වෙලා තියෙනවා.
විවිධ තේමා, විවිධ ශානර ඔස්සේ ඉන්දියානු ජනප්‍රිය සිනමාව අතු විහිදා ඉතා සරු ලෙස  වැඩෙන ආකාරය අපට දැකගන්න පිළිවන්.
මේඅතර මෑත කාලයේ මෙම සිනමාව තුළ වඩාත් ප්‍රබලව මතුවෙන එක තේමාවක් තමයි දේශප්‍රේමය, ජාතිකත්වය පිළිබඳ තේමාව. විශේෂයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔහු අයත් වන භාරතීය ජනතා පක්ෂය බලයට ආවට පස්සෙ ඉන්දියාව තුළ ජාතිකවාදය, දේශප්‍රේමය වගේ කාරණාවලට  ලොකු තැනක් හම්බ වුණා. භාරතීය ජනතා පක්ෂය සැලකෙන්නෙ හින්දු ආගම ද පදනම් කරගත්තු දැඩි ජාතිකවාදී පක්ෂයක් හැටියටයි. මෝදි ගේ සහ එම පක්ෂයේ ප්‍රබල නායකත්වය යටතේ පිටාර ගලපු මේ ජාතිකවාදය, දේශප්‍රේමය වගේ කාරණා සිනමාව වැනි කලා ක්ෂේත්‍ර තුළට පවා කාන්දු වෙන්න පටන් ගත්තා. "තන්ඩෙල්" වැනි චිත්‍රපට පවා මෝදිලාගේ ජාතිකවාදී න්‍යායපත්‍ර, සටන්පාඨ උත්කර්ෂයට නංවන නිර්මාණ හැටියට හඳුන්වන්න පිළිවන්.
මේ ජාතිකවාදයත් එක්ක ගැට ගැහිල එන පාකිස්තානු විරෝධය, මුස්ලිම් විරෝධය වගේ දේවලුත් මේ වගේ චිත්‍රපට ඇතුළෙන් එළියට පනිනවා.

"තන්ඩෙල්" ඉතාම හැඟීම්බර ආදර කතාවක තවරල ඉහත කී දේශප්‍රේමී, ජාතිකවාදී හැගීම් ප්‍රේක්ෂක සිත් තුළ පැල කරන්න උත්සාහ කරන චිත්‍රපටයක් හැටියටයි මට දැනුණෙ. මේ වගේ චිත්‍රපට මේ කාලේ ඉන්දියානු සිනමාව තුළ සුලබ යි.

චිත්‍රපටයේ ආදර කතාව ඇස්වලට කඳුළු උනන  මට්ටමට අරගෙන එන්න චිත්‍රපට කණ්ඩායම සමත් වෙලා තියෙනව. එතනදි අධ්‍යක්ෂ චන්දූ මොන්දෙති ගේ දක්ෂකම, තිර රචනය තුළ  චරිත/ සිද්ධි ආදිය  ගොඩ නැංවීමේ සූක්ෂ්ම බව, ගීතවල  සහ සංගීතයේ සංවේදී බව, කැමරාකරණයේ සුවිශේෂී බව, නාග චෛතන්‍යා සහ සායි පල්ලවි දෙදෙනාගෙ රංගන කුසලතාව විශාල ලෙස දායක වෙනවා. නාග සහ සායි දෙදෙනාගේ ශරීර භාෂාවන් හි තිබෙන ආටෝපයෙන් තොර සරල, අව්‍යාජ බව මේකෙ දි බෙහෙවින් උපකාරී වී ඇති ආකාරයක් දැකගත හැකියි.
මේ ආකාරයෙන් ගොඩ නැගෙන ආදර කතාවෙ දුෂ්ටයා බවට පත්වෙන්නෙ සාමාන්‍ය, සම්ප්‍රදායික ආදර කතාවල වගේ දුෂ්ට වැඩිහිටියෙක් හෝ වෙනත් නපුරු පුද්ගලයෙක් හෝ නොවෙයි. ඉන්දියාවෙ සතුරු රාජ්‍යයක් හැටියට පිළිගැනෙන  පාකිස්තානය තුළ  පිහිටි බන්ධනාගාරයක් තමයි මේකෙ " දුෂ්ටයා " හැටියට ප්‍රතිරූපගත වෙන්නෙ.
මේ සිරගෙදර දී රාජු ඇතුළු පිරිස මුහුණ දෙන්නේ සාමාන්‍ය දඬුවම්වලට නොව ඉන්දියානු විරෝධය සහ හින්දු විරෝධය පදනම් කර ගත්තු, ජාතිවාදී, ආගම්වාදී ප්‍රචණ්ඩත්වයකට. මෙම පාකිස්තානු ප්‍රචණ්ඩත්වයේ කුරිරු බව වඩාත් කුළු ගැන්වීම සඳහා කුඩා දරුවකුට එරෙහි හිංසනයන් පවා චිත්‍රපටයට ඇතුළත් කර තිබෙනවා.
රාජු මෙම ප්‍රචණ්ඩ හිංසනයන්ට යටත් වෙන්නෙ නැහැ. ඔහු ඊට විරුද්ධව  සටන් කරනවා. ඒ ඔස්සේ ඔහු හුදෙක් ධීවර කණ්ඩායමක නායකයකු පමණක් නොව ජාතිය වෙනුවෙන් සටන් කරන නායකයකුගේ තත්වයට ඔසවා තැබෙනවා. රාජු තම කණ්ඩායම සමග නැවත සිය මව් රටට පැමිණෙන්නේ එවැනි ප්‍රතිරූපයක් අත්පත් කරගෙනයි.
රාජු ආදරය වෙනුවට නායකත්වයේ වගකීම ලොකු කර ගනිමින්  මුහුදු යාම ගැන කේන්තියෙන්, ශෝකයෙන් සහ කලකිරීමෙන් පසු වූ සත්‍යා දැන් "ජාතික වීරයකු"  ගේ ස්වරූපයෙන් පැමිණෙන රාජුට සමාව දීමටත්, නැවත ඔහු සමග එක් වීමටත් පසුබට වන්නේ නැහැ.

නැවත මුහුදු නොයන බවට ඔහුගෙන් පොරොන්දු ගැනීමට උත්සාහ කරන්නේත් නැහැ. ඔහුගේ දේශප්‍රේමී නායකත්වය ඇයත් පිළිගන්නා බවකුයි පෙනෙන්නේ. ආදරයට වඩා එය ලොකු බව සත්‍යාත් නිහඬව පිළිගත් බවක් පෙනෙනවා !

"තන්ඩෙල්" ඉන්දියානු දේශප්‍රේමය සහ ජාතික හැඟීම උත්කර්ෂයට නංවන සිනමා සිත්තමක් යයි මට සිතෙන්නේ මේ පසුබිම තුළයි.

 



අදහස් (0)

රෝසමලක තැවරුණු දේශප්‍රේමය: තන්ඩෙල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site