IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ජාත්‍යන්තර චිත‍්‍රපටය: I’m Still Here

පිච්චැර් පිස්සා

 

ඊයේ හවස වැස්ස වෙලාවෙ ගෙදට්ට වෙලා අපූරු චිත‍්‍රපටයක් බැලුවා. නම  I'm Still Here( මම තාම මෙතැන) මේක බ‍්‍රසීල සිනමා නිර්මාණයක්.

මේ චිත‍්‍රපටය නරඹන්න විශේෂයෙන් පෙළඹුණේ මෙයට සති කිහිපයකට කලින් පැවැති 2025 ඔස්කාර් සම්මාන උළෙලෙදි හොඳම ජාත්‍යන්තර වෘත්තාන්ත චිත‍්‍රපටය සම්මානය හිමි කරගත් චිත‍්‍රපටය වීම නිස යි. බ‍්‍රසීල සිනමාපටයක් මෙම සම්මානයට හිමිකම් කී පළමු අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්. එ් වගේම මේ සිනමාපටය  හොඳම චිත‍්‍රපටය සම්මානය සඳහාත් නිර්දේශ වුණා. එතැනත් විශේෂත්වයක් තියෙනවා. මෙයට පෙර කිසිදු අවස්ථාවක බ‍්‍රසීල සිනමාපටයක් මේ සම්මානය සඳහා නිර්දේශ වෙලා නැහැ.

ඔස්කාර් උළෙලට අමතරව තවත් සම්මාන උළෙල කිහිපයකදී ම  I'm Still Here     අවධානයට පාත‍්‍ර වුණා.  Sight & Sound  නැමැති සුප‍්‍රකට සිනමා සඟරාව මෙම චිත‍්‍රපටය 2024 වසරේ නිර්මාණය වුණු හොඳම චිත‍්‍රපට 50 න් එකක් හැටියටත් නම් කර තිබෙනවා.

I'm Still Here    අපේ රටටත්  සමීප අත්දැකීමක් පසුබිම් කරගත් චිත‍්‍රපටයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මෙයට ඇතුළත් වන්නේ දේශපාලන හේතු මත අතුරුදන් කරනු ලැබූ දේශපාලන කි‍්‍රයාකාරිකයකු සහ ඔහුගේ බිරිඳත්, දරුවනුත් පිළිබඳ කතාවක්.  ශී‍්‍ර ලංකාවේත් මේ ආකාරයෙන් අතුරුදන් කරනු ලැබූවන් සහ ඝාතනයට ලක් වූවන් පිළිබඳ කතා උතුරෙන් මෙන්ම දකුණෙන් ද පසුගිය කාලයේ අසන්නට ලැබුණු බව රහසක් නොවෙයි.

චිත‍්‍රපටය ආරම්භ වන්නේ නවසිය හැත්තෑව දශකයේ බ‍්‍රසීලය පසුබිම් කරගත් සිදුවීම් පෙළකින්. එ් වනවිට බ‍්‍රසීලයේ පැවතියේ එ්කාධිපති හමුදා පාලනයක්. මෙම හමුදා පාලනයට මග පෑදුණේ එරට තුළ එ් වනවිට සිටි පාලකයන් රටේ කොමියුනිස්ට් පාලනයක් ඇති කරනු ඇතැයි යන බිය හේතුවෙන් හමුදාව ඇතුළු කන්සර්වේටිව් කණ්ඩායම් විසින් දියත් කරන ලද දේශපාලන කුමන්ත‍්‍රණයක් හරහා යි.  මෙම කුමන්ත‍්‍රණයට ඇමෙරිකා එක්සත් ජනපදයෙනුත් සහාය ලැබුණු බව සඳහන් වෙනවා.

මෙම චිත‍්‍රපටයේ එක් ප‍්‍රධාන චරිතයක් වන්නේ රූබන්ස් පායිවා යි. මොහු එ් කාලයේ බ‍්‍රසීලය තුළ සිටි සැබෑ චරිතයක්. පායිවා එරට හමුදා පාලනයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සහ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව සටන් කළ කෙනෙක්. ඔහුට අමතරව චිත‍්‍රපටය තුළ දී අපට ඔහුගේ බිරිඳ යූනිස් (Eunice)  පායිවාත්, ඔවුන් දෙදෙනාගේ දරුවන් පස් දෙනාත් හමු වෙනවා. සැබැවින්ම  I'm Still Here    හි ප‍්‍රධානම චරිතය වන්නේ යූනිස්. මෙම චරිතයට පණ දෙන ෆර්නැන්ඩා ටොරේස් ඉතා සංකීර්ණ චරිතයක් අතිශයින් සියුම් ආකාරයෙන් විශිෂ්ට ලෙස නිරූපණය කරනවා. මට දැනුණු විදියට චිත‍්‍රපටයෙන් ප‍්‍රධාන වශයෙන්ම කියැවෙන්නේ තම සැමියා හමුදා පාලකයන් විසින් රැගෙන ගොස්, වධහිංසාවලට ලක් කර මරා දැමීමෙන් පසු දරුවන් පස් දෙනෙකු සමග ඇය මුහුණ දෙන මානසික, ආර්ථික ආදී අර්බුදයන් ගැන යි.

චිත‍්‍රපටයේ ආරම්භක විනාඩි තිහක පමණ කාලය තුළ අප දකින්නේ රූබන්ස් සහ යූනිස් යන අඹුසැමියන්  සිය දරුවන්  ද සමග බ‍්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ නුවර ඔවුන්ගේ සුන්දර නිවහනේ සතුටින් සැහැල්ලූවෙන් කාලය ගත කරන අන්දම යි. උගත් මධ්‍යම පාන්තිකයන් වන ඔවුන්ගේ  නිවෙස නිතර පි‍්‍රය සාදවලින් ද, සංගීතයෙන්, නැටුම්වලින් සහ ගෘහස්ථ කී‍්‍රඩා ආදියෙන් ද,  ආදරයෙන් සහ සිනහවෙන් ද පිරී ඇති ආකාරය අපට දැක ගන්නට ලැබෙනවා.

මේ සියල්ල මතුපිටින් මේ ආකාරයෙන් ගලාගෙන යද්දී එ්කාධිපති හමුදා පාලනයේ අඳුරු, කුරිරු, අමානුෂික සෙවණැල්ල මේ ජන ජීවිතය පසුබිමේ  හොල්මන් කරමින්  ඇති ආකාරය අපට සියුම් ලෙස දැනෙන්නට පටන් ගන්නවා.  පායිවාගේ  පවුලේ සතුට සැහැල්ලූව කොයි මොහොතක හෝ එම භූතාත්මය විසින් ගොදුරු කර ගැනෙනු ඇතැයි යන සීතල හැඟීම අප නොසන්සුන් කරවනු ලබනවා. රූබන්ස් පායිවා එ් වනවිට, පවුලේ අයට නොදැනෙන සේ හමුදා පාලනයට එරෙහි කටයුතුවල රහසිගතව නිරත වෙමිනුයි සිටින්නේ. නමුත් ඔහු කරන කිසිවක් ගැන ඔහුගේ බිරිඳවත්, දරුවන්වත් දන්නේ නැහැ.

දිනක් හදිසියේ නිවෙසට පැමිණෙන කිසියම් කණ්ඩායමක් රූබන්ස්ව අරන් යනවා. ඔවුන් පවසන්නේ කිසියම් කාරණයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ඔහු ගෙන යන බව යි. නමුත් මේ කාරණය කුමක්ද කියාවත්, ඔහුව ගෙනයනු ලබන්නේ කොතැනකට ද කියාවත් යූනිස්ට හෝ දරුවන්ට හෝ දැනගන්නට ලැබෙන්නේ නැහැ. ඔවුන් මෙම සිද්ධියෙන් දැඩි කම්පනයට පත් වෙනවා.

දින කිහිපයකට පසු යූනිස් සහ එම පවුලේ වැඩිමල් දියණිය 15 හැවිරිදි එලියානා ද වධ කඳවුරක් වෙත රැගෙන යනු ලබනවා.  එ් රූබන්ස් ඇසුරු කළ පුද්ගලයන් පිලිබඳ තොරතුරු දැන ගැනීම සඳහා යි. නමුත් යූනිස්වත්, එලියානාවත් මේ කිසිවක් පිළිබඳ  වැඩි තොරතුරක් දන්නේ නැහැ.

වධ කඳවුරේ දින ගණනක් සිර කුටියක් වැනි තැනක සිර වී සිටිය දී යූනිස්ට පිටතින් ඇසෙන ශබ්ද, එනම් වධ බන්ධනයට ලක් වූවන්ගේ වේදනාකාරී විලාප හඬවල් ඇය තුළ නොමැකෙන තිගැස්මක් සහ සැමියාගේ ඉරණම පිළිබඳ බියජනක ශෝකයක් ඇති කරනවා. කෙසේ නමුත් යූනිස්ව දැඩි වධ දීම්වලට ලක් කෙරෙන්නේ නැහැ. නමුත් අර හඬවල් විසින් ඇය තුළ ඇති කරනු ලබන ඉහත කී හැඟීමම තමයි ඇය මුහුණ දෙන වධය.

ඇය නිදහස් වී පැමිණීමෙන් පසු චිත‍්‍රපටය දිග හැරෙන්නේ ප‍්‍රධාන වශයෙන්ම යූනිස් ගේ චරිතය වටා යි. මෙතෙක් කලක් ආදරයෙන්, සතුටින් සැහැල්ලූවෙන් වෙළී සිටි පවුල රූබන්ස් ගේ හදිසි අතුරුදන් වීමත් සමග ඇද වැටෙන තත්වය කළමනාකරණය කර ගැනීමට ඇය ගන්නා ධෛර්ය සම්පන්න වෑයමයි ඉන්පසු අපට අත්දකින්නට ලැබෙන්නේ. දරුවන් පස් දෙනෙකුගේ අනාගතය පිළිබඳ බරත් සමග ඇය  සිටින්නේ දවස පුරා ඉකි ගසමින් හඩා වැටෙන්නට තරම් දැඩි ශෝකයක්, වෙිදනාවක්, පීඩනයක් සිත දරා ගෙන යි. නමුත් යූනිස් පායිවා කඳුළක් හෙළන අවස්ථාවක් අපට දකින්න ලැබෙන්නේම නැති තරම්.

එක් අවස්ථාවක රූබන්ස්ගේ අතුරුදන් වීම ගැන පුවත්පතකට ලිපියක් ලියන්නට එන මාධ්‍යවේදියකුට පවුලේ ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය වෙනවා.  දුක පෙන්වන මුහුණුවලින් ඡායාරූපයට පෙනී සිටින මෙන් මාධ්‍යවේදියා යූනිස්ට පවසනවා. නමුත් ඇය එය ප‍්‍රතික්‍ෂේප කරනවා. ඇය දරුවන් ද සමග ඡායාරූපයට පෙනී සිටින්නේ සිනාමුසු මුහුණුවලින්.

පරාජය බාර ගන්නට අකැමැති වන යූනිස් නිතර කාලය ගත කරන්නට උත්සාහ කරන්නේ කිසිවක් සිදු නොවූ ගාණට යි. එයට ප‍්‍රධාන හේතුව ලෙස පෙනෙන්නේ දරුවන්ගේ සතුට අඳුරු කරන්නට ඇය තුළ පවතින නොකැමැත්ත යි. නමුත් මේ සිනාව රැඳි මුහුණ පිටුපස ඇති වේදනාවෙන් වැලපෙන හදවත ඉතා සියුම් ලෙස අපට දැනෙන්නට පටන් ගන්නවා.  යූනිස් ගේ චරිතය රඟපාන  ෆර්නැන්ඩා ටොරේස් ගේ විශිෂ්ට රංගන කුසලතාව අප හමුවේ දෝරේ ගලන්නට පටන් ගන්නේ මෙහිදී යි. එමෙන්ම මියුරිලෝ හෞසර් සහ හෙයිටර් ලොරේගා යන දෙදෙනාගේ තිර රචනයේ සූක්‍ෂ්ම බවත්, වෝල්ටර් සලේස් ගේ අධ්‍යක්‍ෂණයේ කෘතහස්ත බවත් අපට දැනෙන්නට පටන් ගන්නවා.

සම්මාන උළෙල රැසක දී ටොරේස් හොඳම නිළිය සම්මානය සඳහා නිර්දේශ වුණා. ඔස්කාර් සම්මාන උළෙලත් එයින් එකක්. මේ වසරේ පැවැති ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ දී ඇය හොඳම නිළිය සම්මානය දිනාගත්තා.  ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ඉතිහාසය තුළ මෙම සම්මානය දිනාගත් පළමු බ‍්‍රසීල නිළිය ලෙස ඇය වාර්තා පොතටත් එක් වුණා.

මෙම චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කළ වෝල්ටර් සෙලේස් වර්තමාන බ‍්‍රසීල සිනමාවේ දැවැන්තයෙක්. ඔහු අධ්‍යක්‍ෂණය කළ  The Motorcycle Diaries, Central Station  වැනි චිත‍්‍රපට විශාල වශයෙන් කතාබහට ලක් වූ නිර්මාණ.



අදහස් (0)

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ජාත්‍යන්තර චිත‍්‍රපටය: I’m Still Here

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site