මා මෙම සටහන් පෙළ ලියන්නේ ලෝකයේ විවිධ රටවල චිත්‍රපට නැරඹීමෙන් මා විඳින ආස්වාදය පාඨක ඔබත් සමග බෙදා ගැනීමට යි. මෙවැනි විදේශීය චිත්‍රපට නැරඹීමට කැමැත්ත දක්වන සිනමා ලෝලීන් විශාල පිරිසක්, විශේෂයෙන් තරුණ පරම්පරාව තුළ සිටින බව රහසක් නොවෙයි. මේ අතරින් බොහෝ දෙනෙක් මේ කාලයේ ලංකාවේ හැදෙන චිත්‍රපටවලටත් වඩා මෙම විදේශීය චිත්‍රපට නැරඹීමට කැමැත්ත දක්වනවා. මාත් එහෙමයි. ලංකාවේ වැඩි හරියක් චිත්‍රපටවල නිර්මාණාත්මක වශයෙන් සහ ශිල්පීය වශයෙන් තිබෙන බංකොලොත්කම, ආධුනික බව අප බොහෝ දෙනකු වෙහෙසට පත් කරනසුලු යි. ඉතා දක්ෂ අධ්‍යක්ෂවරුන් ලෙස නම් දරා සිටින අයගේ චිත්‍රපටවල පවා මේ දුර්වලතා දකින්න ලැබෙනවා.
අද ලියන්න යන්නේ ළඟදී නරඹන්න ලැබුණු භූතාන චිත්‍රපටයක් ගැනයි. (අපේ රටේ සිනමා ශාලාවල කවදාවත් තිරගත කෙරෙනු ඇතැයි සිතිය නොහැකි භූතානය වගේ රටවල චිත්‍රපට පවා අද අපට අන්තර්ජාලය හරහා නරඹන්නට හැකියාව ලැබී තිබීම ඇත්තෙන්ම සතුට දනවන්නක්.)
මේ චිත්‍රපටයේ නම Lunana: A Yak in the Classroom. මේක 2019 වසරේ නිෂ්පාදනය වූ සිනමාපටයක්. මෙහි අධ්‍යක්ෂවරයා පාවො චොයිනිං දෝර්ජි. ඔහු භූතාන සිනමාවට ජාත්‍යන්තර අවධානයක් දිනා දෙන්නට සමත් වූ අපූරු සිනමාකරුවෙක්. ඔහුගේ චිත්‍රපට දෙකක් මා නරඹා තිබෙනවා. The Monk and the Gun මා නැරඹූ අනෙක් චිත්‍රපටය යි. ඔහුගේ මෙම චිත්‍රපට දෙකම ලෝකයේ විවිධ සිනමා සම්මාන උළෙලවල දී අවධානයට පාත්‍ර වුණා.
2022 වසරේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේ දී Lunana: A Yak in the Classroom චිත්‍රපටය හොඳම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපටය සම්මානය සඳහා නිර්දේශ වුණා. භූතාන සිනමාපටයක් ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශ වූ පළමු අවස්ථාව මෙය යි. එය එරට සිනමාව ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි.
Lunana චිත්‍රපටයේ මුලින්ම මගේ සිත බැඳ ගත් කාරණය වූයේ එය රූපගත කර ඇති කඳුකර ඉසව්වේ ස්වභාවික සුන්දරත්වය යි. චිත්‍රපටයේ වැඩි හරියක් කැමරාවට නගා ඇත්තේ භූතානයේ ඈත පිටිසර, හිමාල අඩවියේ ශීතලෙන් වැසුණු ගම්මානයක. එහි නම තමයි ලුනානා. භූතානය කොහොමටත් ඉතා සුන්දර රටක් බව රහසක් නොවෙයි.
මෙම චිත්‍රපටයට පසුබිම් වන්නේ ඉහත කී ලුනානා නමැති අති දුෂ්කර ගම්මානයේ පිහිටි එකම පාසලට මාරු වීමක් ලබා යන නාගරික තරුණ ගුරුවරයකු ගැන කතාවක්. ඔහුගේ නම උග්යෙන්. ඔහු ඒ වනවිට ගෙවමින් සිටින්නේ ඔහුගේ පුහුණු කාලය යි. එම පුහුණු කාලයේ පස්වැනි වසර සඳහා යි උග්යෙන් සූදානම් වෙමින් සිටින්නේ.
කෙසේ වෙතත් ඔහු ගුරු වෘත්තියට එතරම් කැමැත්තක් දක්වන්නෙකු නොවෙයි. වර්තමානයේ ආර්ථික අතින් අඩු දියුණු රටවල බොහෝ තරුණයන්ට මෙන්ම ඔහුටත් අවශ්‍යව ඇත්තේ දියුණු රටකට සංක්‍රමණය වී තම අනාගතය සාර්ථක කර ගැනීමට යි. සංගීත ශිල්පියෙකු වීමේ සිහිනයකුත් උග්යෙන් ගේ සිතේ තිබෙනවා.
මෙසේ තිබියදී යි ඔහුට ඉහත කී අති දුෂ්කර ගම්මානයේ පාසලට මාරුවක් ලැබෙන්නේ. එම අවස්ථාවේ ඔහු සිතන්නේ රැකියාවෙන් ඉවත් වීමට යි. නමුත් අවසානයේ උග්යෙන් මේ ගමන යන්නේ ඔහුගේ මහලු මිත්තණියගේ ඉල්ලීම නිසා බවයි පෙනෙන්නේ. කෙසේ නමුත් ඔහු ගම්මානය බලා පිටත් වන්නේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා සියලු ලිපි ලේඛන තානාපති කාර්යාලය වෙත යොමු කරල යි.
එයින් පසු අප දකින්නේ ඔහු ලුනානා නමැති ගම්මානය කරා යන අපූරු ගමන යි. බොහෝ දුරබැහැර ගෙවාගෙන දුර්ග මාර්ග ඔස්සේ යන මෙම ගමන උග්යෙන් ජීවත් වූ සුව පහසු පරිසරයට වඩා ඉඳුරාම වෙනස් වූ අමුතුම ලෝකයක් වෙත යන ගමනක් සේ සිනමාවට නැගීමට අධ්‍යක්ෂ දෝර්ජි උත්සාහ ගන්නවා. එය සැබැවින්ම අරුත් දනවන දර්ශන පෙළක් වන්නේ මේ ගමන හරහා උග්යෙන් වෙනස්ම ජීවන රටාවක්, වෙනස්ම හර පද්ධතියක්, වෙනස්ම මානව හැඟීම් කලාපයක් වෙත ගමන් කරන නිස යි. එය සැබැවින්ම වෙනස් ම ලෝකයක් තමයි.
ලුනානා වෙත යන මේ ගමනේදීත්, එහි ගිය පසුවත් ඔහුට හමුවන්නේ අපූරු මිනිස් කොට්ඨාසයක්. ඔවුන් ආදරයෙන්, දයාවෙන්, ළෙන්ගතුකමෙන් පිරි හදවත්වලින් යුතු, මහ විශාල බලාපොරොත්තු කරගසා නොගත්, මේ මොහොතේ සතුට ගැන පමණක් සිතන, ඉතාම සරල,නිහතමානී ජීවිත ගත කරන, පරිසරය සමග ඒකාත්මික වූ ජීවන රටාවකින් හෙබි, සතුන් සිවුපාවුන්ට ගෞරව කරන ජන පිරිසක්.
ඒ වනවිට උග්යෙන් අනුගමනය කිරීමට සූදානම් වෙමින් සිටින තරගකාරී, උන්නතිකාමී, ආත්මාර්ථය සහ භෞතික දියුණුව ලුහුබඳින, ආදරය, දයාව වියැළී ගිය ලෝකයට වඩා මෙය හාත්පසින්ම වෙනස්, සිසිලසින්, තෙතමනයෙන් යුතු ලෝකයක්.
මෙහිදී ඔහුට මුණගැසෙන මිචෙන්, අශා, සල්දන්, පෙම් සාම් වැනි චරිත ඉතා අපූරු අව්‍යාජ බවකින් යුතුව ගොඩ නැගීමට අධ්‍යක්ෂවරයා සමත් වෙනවා.
උග්යෙන් ලුනානා ගම්මානයේ පාසල් ගුරුවරයා වුවත්, තවත් අතකින් ඔහු ශිෂ්‍යයකු බවටත් පත් වෙනවා. ඒ, මෙම ගම්වැසියන්ගෙන් සහ දරුවන්ගෙන් ඔහු ද බොහෝ දේ ඉගෙන ගන්නා නිසා යි. හිමාලයේ කඳු වැටියෙන් වට වී සෙසු ලෝකයෙන් වෙන් වී ඇති ලුනානා ගමේ වැසියන් තුළ ඇති අව්‍යාජ ආදරය, දයාව, ළෙන්ගතුකම, සරලකම, තෘප්තිමත් බව ඔහු වෙනස් කරන්න පටන් ගන්නවා. ලුනානා හි තිබෙන අඩු පහසුකම් සහ දුෂ්කර බව මුලින් උග්යෙන් තුළ ඇති කරන්නේ නොරුස්නාකමක් වුවත් කෙමෙන් ඔහු ගම්මානයට ආදරය කරන්න පටන් ගන්නවා.
මේ ගම්මානයේ දී උග්යෙන්ට හමුවන සල්දන් නමැති තරුණිය සහ උග්යෙන් අතර ඇති වන සියුම් බැඳීම විශේෂයි. සල්දන් මෙහි නිරූපණය වන්නේ ලුනානා ගම්මානයේ සහ පුළුල්ව ගත්විට භූතානයේ උරුමය නියෝජනය කරන චරිතයක් හැටියට බවයි මට හැඟුණේ. උග්යෙන් කෙමෙන් සල්දන් වෙත ආකර්ශනය වීම ඔහු මේ උරුමය හා ඇති කරගන්නා බැඳීම සංකේතවත් කරන්නක් බඳු යි.
කෙසේ හෝ වේවා, උග්යෙන් ලුනානා ගම්මානය වෙත බැඳෙන්නේ එහි වැසියන්ගේ අව්‍යාජ බව, අහිංසක බව, පිවිතුරු බව නිසා පමණක්මත් නොවෙයි. ඔවුන් පෙළන දුෂ්කරතා ගැනත්, ඔවුන්ට අහිමි කරනු ලැබ ඇති දේ ගැනත් උග්යෙන් තුළ ශෝකී හැඟීමක් ඇති වෙන නිස යි.
දරුවන් හයහත් දෙනෙකු පමණක් ඉගෙන ගන්නා පාසලේ තිබෙන්නේ එකම එක කාමරයක් පමණ යි. මේ කාමරයේ පවා කළුලෑල්ලක්වත් නැහැ.
මේ සියලු කාරණා හමුවේ උග්යෙන් තුළ ගම පිළිබඳ ඇති වන බැඳීම තරමක් සංකීර්ණ බැඳීමක්.
සාමාන්‍යයෙන් ලුනානා පාසලේ ඉගැන්වීම් කටයුතු කරන්නේ වසන්ත කාලයේ සහ ගිම්හානයේ පමණයි. ශීත කාලය එළැඹෙත්ම පාසල වසා දමන අතර ගුරුවරයා ද ගමෙන් පිට වීම සම්ප්‍රදාය යි. මේ අනුව ශීත සෘතුව ආරම්භ වෙද්දී උග්යෙන්ටත් ගම්මානයෙන් පිටවීමට කාලය එළැඹෙනවා. මේ අතර ඔහුගේ ඕස්ට්‍රේලියා ගමන සඳහා ලියකියවිලි අනුමත වී ඇති බව කියන ලියුමකුත් ඔහුට ලැබෙනවා.
එයින් පසු අප දකින්නේ ඔහු ගමේ දරුවන්ගෙන්, ගම් වැසියන්ගෙන් සහ ගමෙන් සමුගන්නා ආකාරය දැක්වෙන සවේදී රූපරාමු පෙළක්.
අනතුරුව අප ඉදිරියේ දිස්වන්නේ උග්යෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රාත්‍රි සමාජ ශාලාවක රැස්ව සිටින විජාතිකයන් පිරිසක් පිනවීම සඳහා ගීයක් ගයන ආකාරය යි. දැන් ඔහුගේ රැකියාව එය යි. නමුත් මේ විජාතිකයන් තමාගේ ගීතයට හරියකට ඇහුම්කන් පවා නොදෙන බව ඔහුට දැනෙනවා. මේ පරිසරය තුළ ඔහු මොන තරම් පිටස්තරයෙක් ද, ආගන්තුකයෙක් ද, ඔහු වටා ඇති මිනිස් සම්බන්ධතා කෙතරම් වියළි ද, දුරස්ථ ද යන්න මේ එකම එක ජවනිකාව තුළ ඉතා ව්‍යක්ත ලෙස සිනමාවට නැගීමට අධ්‍යක්ෂ දෝර්ජි සමත් වෙනවා. එපමණක් නොවෙයි ජීවිතය තුළ තමා මේ පැමිණ සිටින්නේ හරි තැනට ද, තමාට හිමි නියම තැන මෙතැන ද යන හැඟීමක් උග්යෙන් තුළ ඇතිවන බව අපට සියුම් ලෙස දැනෙනවා. තමා අතහැර පැමිණි, සැතපුම් දහස් ගණනක් ඈත පිහිටි ලුනානා ගම්මානයේ සුන්දරත්වය, එහි තමා වටා සිටි මිනිසුන්ගේ ලෙන්ගතු බව පිළිබඳ වේදනාකාරී මතකයක් එවේලේ ඔහුගේ සිත අරක් ගන්නවා. ඔහු මෙතෙක් ගයමින් සිටි ගීතය වෙනුවට ලුනානා ගමේ දී සල්දන්ගෙන් ඉගෙන ගත් ගීතය ගයන්න පටන් ගන්නවා.
Lunana: A Yak in the Classroom චිත්‍රපටය සැලකිය හැක්කේ එක්තරා දුරකට ජාතිකවාදී චිත්‍රපටයක් හැටියට යි. දැන් කාලයක සිටම භූතානය බුද්ධි ගලනය පිළිබඳ ලොකු ප්‍රශ්නයකට මුහුණ දී සිටිනවා. එරට තරුණ තරුණියන් විශාල වශයෙන් රැකියා සඳහා වෙනත් රටවලට සංක්‍රමණය වෙමින් සිටින අතර මෙය භූතානයට ආර්ථික වශයෙන් මහත් ගැටලුවක් මතු කර ඇති කාරණයක්. Lunana මේ ගැටලුවට යම් මැදිහත් වීමක් කරන සිනමාපටයක් හැටියටත් සලකන්න පුළුවන්. තරුණ තරුණියන් රට හැර යාම අධෛර්යමත් කරන ගතියක්, ඔවුන්ට භූතානය තුළ ඇති කාර්යභාරය පිළිබඳ සිහිපත් කරන ගතියක් මේ චිත්‍රපටයේ තිබෙනවා.
භූතාන සමාජය බුදු දහමින් පෝෂණය වූවක් බවත් රහසක් නොවෙයි. Lunana චිත්‍රපටය තුළත් බුදු දහමේ ආභාසය පැහැදිලිවම දැක ගන්න පුළුවන්. අසීමිතව ආසාවන් ලුහුබැඳ යාම වෙනුවට බොහෝ දේ නැතිව වුව ද සතුටින්, තෘප්තියෙන් ජීවත් වීම, සරල බව වැනි කාරණා මේ තුළ පරමාදර්ශයට නැගෙනවා යයි මට සිතුණා.
මා මෙම සටහන් පෙළ ලියන්නේ ලෝකයේ විවිධ රටවල චිත්‍රපට නැරඹීමෙන් මා විඳින ආස්වාදය පාඨක ඔබත් සමග බෙදා ගැනීමට යි. මෙවැනි විදේශීය චිත්‍රපට නැරඹීමට කැමැත්ත ද
අද මෙම සටහන මේ දිනවල ඉන්දියාව තුළ ලොකු ආන්දෝලනයක් ඇති කර තිබෙන චිත්‍රපටයක් ගැනයි. මේ සිනමාපටයේ නම ’’චාවා’’ (Chhaava).
ඇමෙරිකාවේ රාත්‍රි සමාජ ශාලාවක වැඩ කරන ලිංගික ශ්‍රමිකයකු සහ බිලියනපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු අතර ඇති වන ලිංගික ආදර සම්බන්ධයක් තමයි මේ චිත්‍රපටයට
මලයාලම් ජනප්‍රිය සිනමාව මේ කාලයේ අපේ රටේ සිනමාලෝලීන්ගේත් ප්‍රියතම සිනමාවක් බවට පත්ව ඇති බව රහසක් නොවෙයි. අද පිච්චැර් පිස්සා ලියන්න යන්නෙත් අලුත්ම මල
නාග චෛතන්‍යා සහ සායි පල්ලවි දකුණු ඉන්දියානු සිනමාවෙ ජනප්‍රියම නළු නිළි දෙපලක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ දෙන්නට වහ වැටුණු රසික රසිකාවියන් වි
ඊයේ හවස වැස්ස වෙලාවෙ ගෙදට්ට වෙලා අපූරු චිත‍්‍රපටයක් බැලුවා. නම I’m Still Here( මම තාම මෙතැන) මේක බ‍්‍රසීල සිනමා නිර්මාණයක්.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අධ්‍යාත්මික ජීවිතයට අත වනන Lunana: A Yak in the Classroom