

මැයි 30 වෙනිදා සිට මේ වෙද්දී සිනමාශාලාවලදී ප්‍රදර්ශනය වන මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය හා එහි අර්බුදය නැවත කියවාගැනීමේ ඉඩප්‍රස්ථාව අපිට විවර කරනවා. 2018 දී වැඩ නිමකරපු ‘බහුචිතවාදියා’ 2018 මොස්කව් සිනමා සම්මාන උලෙළේ දී ප්‍රදර්ශනය කළා. ඊට අමතරව ජර්මනියේ බෙස්ටෙලර් ස්වාධීන සම්මාන උලෙළ, සාර්ක් චිත්‍රපට උලෙළ ආදී අන්තර්ජාතික වශයෙන් ප්‍රදර්ශන වාර කිහිපයක් හා දේශීය වශයෙන් සරසවිය සම්මාන උළෙලේ දී හා දෙරණ චිත්‍රපට සම්මාන උළෙලේ දී ත් ප්‍රදර්ශනය කරන්නෙ ලොවපුරා රසිකයන්ට බහු + චිත + වාදියෙක්, එහෙම නැත්නම් බොහෝ සිතුවිලි ඇති තනි මනුස්සයෙක් ගැන ඉදිරිපත් කරමින්.
මේ විදිහට සම්මාන උළෙල ගණනාවකදී ප්‍රදර්ශනය කිරීමෙන් ම විතරක් නෙවෙයි, ජර්මනියේ බෙස්ටෙලර් ඉන්ඩිපෙන්ඩන්ට් සම්මාන උලෙළේ හොඳම ස්වාධීන චිත්‍රපටියට හිමි සම්මානය, දෙරණ සිනමා සම්මාන උළෙලේ හෙට දවසේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය, සරසවිය සම්මාන උළෙලේ හොඳම කුළුඳුල් චිත්‍රපටය ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරි සම්මානය, සාර්ක් චිත්‍රපට උළෙල හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ විශේෂ ජූරි සම්මානය හා හොඳම ශබ්ද නිර්මාණ සඳහා වූ සම්මානය ආදී සම්මාන ඔස්සේ සම්මානිත වෙන්නත් බහුචිතවාදියා සමත් වුණා. මේ විදිහට ජාත්‍යන්තර හා දේශීය වශයෙන් සම්මානිත වුණත් මාලකට, චිත්‍රපටය ලංකාවෙ සිනමාශාලාවක මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් තිරගත කිරීමේ හීනයත් එක්ක අවුරුදු 07 ක් බලා හිඳීමට සිදුවීම මාලකට සහ ලංකාවේ සිනමාවට සුළුපටු පාඩුවක් නෙවෙයි. කොහොමින් හරි ඒ බලා හිඳීම අවසන් කරමින් 2025 මැයි 30 සිට එය මහා ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් තිරගත වීම ආරම්භ කරනවා.
බහුචිතවාදියා අපිට සමපාත කරවන්නෙ ලාංකේය සමාජයේ එක්තරා යුගයක පිළිබිඹුවක් . තාක්ෂණික හා මාර්ගගත, ගෝලීයකරණය වූ ධනවාදී ලෝකයට අවතීර්ණ වීම හරහා මතුවන ලාංකේය තරුණයාගේ අර්බුදයත්, ඒ අර්බුදයේ එක්තරා ගොදුරක් වෙන තාක්ෂණික මෙවලම් ම ඒ අර්බුදයෙන් ඉන් පැනයාමට භාවිත කිරීම පිළිබඳ උත්ප්‍රාසයත් කැටිකරගත්ත ගවේෂණයක මේ චිත්‍රපටය හරහා මාලක දේවප්‍රිය නිරත වෙනවා . මාලක චිත්‍රපටයේ දී යොදාගන්නා රූපරාමු සෞන්දර්යාත්මවක නිර්මාණයත් එක්ක බද්ධ වෙන්නෙ ඒ චරිතවල තියෙන ගූඪ බව සහ අසංවිධිත බව ඉතා සූක්ෂමව නිර්මාණය කරලා තියෙන විදිහත් එක්ක. ඒ සඳහා කොළඹ නගරය රූප මාධ්‍යයට නඟන නැවුම් සහ ඔහුට ම ආවේණික විදිහ අපිට උදාහරණ සපයනවා.
මාලක ඉදිරිපත් කරන තේමාව මම හඳුන්වාගන්නෙ “කැතකමේ අසුන්දරත්වය” විදිහට. අපේ ජීවිත ඇතුළෙ නිසැකවම රැඳිලා පවතින කැත යථාර්ථය සහ අනෙකුන්ගෙන් අපි සඟවන යාථාර්ථවාදී සත්‍යය තරුණයෙකුගේ මාර්ගයෙන් මාලක අපිට ඉදිරිපත් කරනවා. හැබැයි ඒ ඉදිරිපත් කිරීමේ කිසිම ලක්ෂණයක් අපිට දකින්න ලැබෙන්නෙ නෑ. ඒ කැත, දුඟද හමන ගැලවීමට අපහසු යථාර්ථය ඉතා ම අසුන්දර විදිහට අපිට සිනමා තිරය ඉදිරියේ මාලක පෙන්වන්න සමර්ථ වෙනවා. සාමාන්‍යයෙන් අපිට මේ කැත දකින්න ලැබෙන්නෙ ලස්සන සෞන්දර්යවත් බවක් නැත්නම් සුන්දරත්වයත් එක්ක මලිත් හෑගොඩගෙ දැකල පුරුදු කෙනෙක්, සත්‍යජිත් මාඉටිපෙගෙ බොරදිය පොකුණ විතරක් නෙවෙයි පතිරාජගෙ බඹරු ඇවිත් ස්ථානගතවෙන්නෙත් මේ කියන සුන්දරත්වය හරහා මිනිසුන්ගේ කැත විවරණය කිරීම කියන වර්ගයට. මාලක වෙනස් වෙන්නෙ එතැනදි කියලයි මට හිතෙන්නෙ.
බහුචිතවාදියා බොහොම කර්කෂ චිත්‍රපටයක්. කොළඹ නගරයේ අනෙක් නිර්මාණ හරහා මතුවන ව්‍යාජ නාගරික සුන්දරත්වය මේ නිර්මාණයේ නැහැ. ඒ වෙනුවට ගොඩනැගිලි, කරන්ට් වයර් එක්ක වාහන ශබ්ද, දුම්රිය, කපුටන්ගේ හඬවල් වගේ අසුන්දර දේ ගැන ඉතා ම සෘජුව සහ සූක්ෂමව මාලක අදහස් දක්වනවා. ඒ අතර වාණිජකරණයට ලක්වුණු දහම, අගනගරය කේන්ද්‍ර කරගත් ව්‍යාජ සේවක සේව්‍ය සබඳතා, මත්ද්‍රව්‍ය සහ විසිරුණු මිත්‍රත්ව සම්බන්ධතා ඉතා ම කටුක අත්දැකීමක් අපිට අරගෙන එන්නෙ ඉතා ම අව්‍යාජ විදිහට. ඒක නිර්මාණාත්මක අව්‍යාජත්වයක් කියලා කියන්න ම බැරි වුණත් ඒ තුළ සාපේක්ෂ අව්‍යාජත්වයක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ.
මේ චිත්‍රපටය තුළ කාර්මීකරණය හා ගෝලීයකරණය හරහා “ආදරය” අර්බුදයට ලක්වීම පිළිබඳ ඉතා ම විශිෂ්ට කතිකාවක් අරගෙන එනවා. ආදරය අසීමිත හීන ලුහුබැඳීමේ යතුර බවට පත්වීම එක්ක ආදරය තුළ අපි දකින්න උත්සාහ කරන සෞන්දර්යයත් මාලක උදුරාගන්නවා.
අපේ සෞන්දර්යාත්මක සිහින උදුරාගන්න මේ ධනවාදී වියරුවේ ප්‍රබලතාව සහ ඉන් මිදීමේ මාර්ගය සෙවීමේ උභතෝකෝටිකය මාලකගේ චිත්‍රපටයෙන් පෙන්නුවත්, මාලක ඒ මාර්ගය කුමක් ද කියන එක ගැන අපිට කියන්න සූදානම් නැහැ. එක්කො එහෙම මාර්ගයක් ඇත්තෙන් ම පවතින්නේ නැහැ.
පරමාදර්ශී සුදු, කළු චරිත භාවිතයෙන් මේ වෙනකොට ලෝක සිනමාව මිදිලා ඉවරයි කියන පණිවුඩය අපිට ලෝක සිනමාවේ වත්මන් ප්‍රවණතා අධ්‍යයනයෙන් දැනගන්න පුළුවන්. නමුත් ඒක ලංකාවේ සිනමාවට තවමත් දුරස්ථයි. අපි වීරයායේ සුදත්, දුෂ්ටයාගේ අඳුරත් හොයමින් චිත්‍රපට තුළ සැරිසරනවා. බහුචිතවාදියා ඒ ප්‍රේක්ෂකයාව අතරමං කරවනවා. මේ චිත්‍රපටයේ වීරයෙක් හෝ දුෂ්ටයෙක් නැහැ. ඒ වීරයා හෝ දුෂ්ටයා නිර්මාණය වෙන්නෙ ප්‍රේක්ෂකයාගේ කියවාගැනීම අනුව. නිර්මාණය විසින් එවැනි යෝජනා නොකිරීම තුළ පවතින රික්තකයේ තමයි අනෙක් සියලු චරිත ස්ථානගත වෙන්නෙ.
මේ සියල්ල මැද ලිංගිකත්වය සම්බන්ධව බරපතළ අවුලක චිත්‍රපටය සම්බන්ධයෙන් මම පත්වුණා කිව්වොත් ඒක හරි. ස්ත්‍රිය හුදු පිරිමියාගේ පරිභෝජන භාණ්ඩයක් බවට පත්වීම සහ ලිංගිකත්වය තුළ පුරුෂයා කේන්ද්‍රවීම මේ චිත්‍රපටයේ මාලක ස්ථානගත කරලා තිබුණා. මාලක ගැහැනු චරිත කිහිපයක් ම තිරයට ගෙනාවත් ඒ සියලු දෙනා කර්කෂ, මූඪ හා පහසුවෙන් රැවටීමට ලක්වෙන අය බවට නිරායාසයෙන් පත් කරනවා. ඒ විපතෙන් ප්‍රධාන චරිතය වන සසිතගේ අක්කවවත් ගලවන්න මාලක උත්සාහ කරන්නෙ නෑ. මේ යථාර්ථය තුළ හැම ගැහැනියක් ම ඒ විදිහෙ පිරිමියාගේ පරිභෝජන භාණ්ඩයක් බවට පත්වෙනවා ද ? විශේෂයෙන් නිර්ධන සාමාන්‍ය පිරිමියෙකුගේ. නැත්නම් මාලකගේ යථාර්ථය පුරුෂ මූලික වීමේ පිළිබිඹුවක් ද මේ විදිහට කාන්තාව හමුවේ විචාරයට ලක්වෙන්නෙ ?
බහුචිතවාදියා හරහා කතාබහට ලක්වෙන තාරුණ්‍යයේ අවදිය හා යුගය තවදුරටත් ලාංකේය කොළඹ තරුණයා සමඟ නොගැටෙන බවයි මට දැනුණෙ. බහුචිතවාදියා සර්වකාලීන ගැටලුවක් වෙනුවට එක්තරා කාල පරිච්ඡේදයක සමාජ ගැටලුවක් නිරූපණය කරනවා කියන කාරණයට අපිට එකඟ වෙන්න සිද්ධ වෙනවා. මේ තුළින් මතු කරන්න උත්සාහ කරන අඳුර අද තවදුරටත් වලංගු නොවීම පුදුමයක් නොවේ. මේ තාක්ෂණය ලෝකයේ පරිණාමය ඉතා ම ශීඝ්‍රයෙන් සිද්ධ වීම ඒකට එක හේතුවක්. මාලක මේ කතිකාවතට පරක්කු වුණාට වඩා අපි පරක්කු වුණා කියන එකයි සාධාරණ.
බහුචිතවාදියා ගමන් කරන්නෙ ඉතා ම යථාර්ථ ලෝකයක වුණත් එහි දෙබස්වල ඉතා පැහැදිලි ප්‍රමාදයක් දකින්න ලැබෙනවා සහ එය යථාර්ථ ලෝකය හා සමපාත නොවෙන තරම් ම විකෘතියක් විදිහටයි ප්‍රේක්ෂකයාට දැනෙන්නෙ. මේක Transcendental සිනමාකෘතියක් විදිහට මාලක ස්ථානගත කරනව ද කියන කාරණය මම දන්නෙ නැහැ. නමුත් මාලක මේ දෙබස් අතර පවතින ඉඩ අවභාවිත කරමින් නිර්මාණය කරන හිස් අවකාශයේ දි ප්‍රේක්ෂකයා කතාවෙන් ගිලිහී යාමට පටන් ගැනීමක් සිද්ධ නොවෙනවා කියලා අපිට කියන්නෙ බෑ.
මාලක තමන්ගෙ තේමාව තුළ ගිලීම හා එහි ම එරීම තුළ ඔහුගේ කතන්දර කීමේ කලාවේ යම් යම් හිස්තැන් මතුවෙන විදිහ අපිට දකින්න පුළුවන්. ඔහු ඇතැම් විට එකම ලක්ෂ්‍යයක් වටා ඕනෑවට වඩා කැරකෙමින් තවත් විටෙක ඇතැම් සුවිශේෂී ස්ථාන මගහැර යාමක් දකින්නත් පුළුවන්. ඔහුගේ සහ පෙම්වතියගේ සම්බන්ධය ඒ විදිහෙ මගහැරයාමක් විදිහටයි මම දැක්කෙ. ඔහුගේ පෙම්වතිය ඉතාමත් දරුණු අර්බුදයක් කරා මෙහෙයවීමේ මාලකගේ ප්‍රයන්තය එතරම් සාර්ථක නොවන්නේ එකී සම්බන්ධය ස්ථානගතකිරීමේ අර්බුදයත් සමඟ ම යි.
චරිත නිරූපණය හා රූපණය අතින් කලණ ගුණසේකර ඒ තරම් සාර්ථක නොවන බව හා ලක්ෂ්මන් මෙන්ඩිස් හුදු “සිනමා ජෝකර්” කෙනෙක් බවට පත්වීම දරුණු පසුබැසීමක් විදිහටයි මම දකින්නෙ. කලණගේ රංගනය ඒකාකරී හා ආයාසාත්මක ලෙස දිගහැරෙන බව බැලූ බැල්මට ම ප්‍රේක්ෂකයාට දැනෙනවා. අනෙක් අවශේෂ චරිත අතරින් සුලෝචනා විතානආරච්චි, සමනලී හා ගීතා සාපේක්ෂ “හොඳ” රංගයක නිරත වන අතර වීණා ජයකොඩිගේ චරිත නිරූපණය සාපේක්ෂව වඩාත් හොඳ බවයි මගේ මතය. ඇයගේ චරිතය උභතෝකෝටිකයක් බවට පත්වීම තුළ ඇයට තිරයේ ඇගේ චරිත නිරූපණය නිසියාකාරව සිද්ධ වූවා ද කියන ගැටලුව තවදුරටත් ගැටලුවක් විදිහට ම මගෙත් එක්ක රැඳිලා තියෙනවා.
තමන්ගෙ කුළුඳුල් නිර්මාණය මේ විදිහෙ සෞන්දර්යාත්මක හා තේමාත්මක නව්‍යතාවකින් ස්ථාපනය කරන්න සහ කතාව ඉදිරිපත් කිරීමේ ප්‍රවීණත්වයක් මාලකගෙන් දැකගන්න පුළුවන්. විශේෂයෙන් මාලකගේ නිර්මාණය ප්‍රදර්ශනය නොවී පැවතීම හරහා ඔහුට සිද්ධ වුණේ බරපතළ හානියක් බව බහුචිතවාදියා අපිට ඉඟිකරවනවා. යම් යම් අඩුපාඩු ඇතත් සමස්තයක් විදිහට මාලක හොඳ නිර්මාණයක් ලංකාවේ සිනමාවට හඳුන්වා දුන්නා කියන්න මම කැමතියි. සිනමාව යම්තාක් දුරට නැවත ප්‍රේක්ෂකයා විසින් ඔසවා තබන මේ මොහොතේ “බහුචිතවාදියා” අනිවාර්යයෙන් ම එක්වරක් නැරඹිය යුතු සිනමාපටයක් විදිහට හඳුන්වන්න මම කැමතියි.



2025 ඔක්තෝබර් මස 08
1649
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
“බහුචිතවාදියා” සාම්ප්‍රදායික නොවන ස්ත්‍රියට බය ද ?