මේ සතියේ සටහන වසර දෙකකට පමණ පෙර ඉතා ජනප්‍රිය වූ අපූරු හින්දි චිත්‍රපටයක් ගැනයි. මේ සිනමාපටයේ නම 12th Fail. අද 12th Fail ගැන ලියන්නට විශේෂ හේතුවක් තිබෙනවා.
ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල යනු එරට වඩාත්ම පිළිගත් සිනමා සම්මාන උළෙලක්. මෙහිදී සම්මානයට පාත්‍ර වීම නිර්මාණයකට හෝ සිනමා ශිල්පියකුට ලැබෙන ඉහළම ගෞරවයක් ලෙස සැලකෙනවා. මේ වසරේ පැවැත්වෙන 71 වැනි ජාතික සිනමා සම්මාන උළෙලේ දී සම්මාන හිමි කරගන්නා චිත්‍රපටවලත්, කලාකරුවන් ගේත් නම් පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණා. මෙහි දී සම්මාන පිරිනැමෙන්නේ 2023 වසරේ තිරගත වූ චිත්‍රපටවලට අදාළව යි.
මෙවර හොඳම චිත්‍රපටයට පිදෙන සම්මානය හිමි කරගෙන සිටින්නේ කලින් සඳහන් කළ 12th Fail චිත්‍රපටය යි.
මෙහි 12th Fail යන්නෙන් අදහස් වන්නේ පාසලේ 12 වැනි ශ්‍රේණියේ විභාගය අසමත් වීම යි. ඉන්දියාවේ 12 වැනි ශ්‍රේණියේ විභාගය ලංකාවේ උසස් පෙළ විභාගය බඳු ඉතා තීරණාත්මක විභාගයක්. මෙම විභාගය සමත් වීම හෝ අසමත් වීම දරුවකුගේ අනාගතය බොහෝ දුරට තීරණය කරන සාධකයක් ලෙස සැලකෙනවා.
ඉන්දියානු සිනමාවේ පළපුරුදු අධ්‍යක්ෂවරයකු වන විදු විනෝද් චොප්රා අධ්‍යක්ෂණය කළ මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ වික්‍රාන්ත් මැසී. චිත්‍රපටය වගේම ඔහුත් සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය දෙදෙනකු වෙත පිරිනමා ඇති අතර ඒ මැසී සහ ෂාරුක් ඛාන් වෙත යි. (ෂාරුක් සම්මානය දිනාගෙන ඇත්තේ "ජවන්" චිත්‍රපටය වෙනුවෙනු යි. ඔහුට සම්මානය පිරිනැමීම ඇතැමුන් ගේ විවේචනයට ලක්ව තිබූ බවත් සඳහන් කළ යුතුයි.)
12th Fail චිත්‍රපටයට පසුබිම් වන්නේ සිය ජීවිතයේ ලොකුම සිහිනය හඹා යාම සඳහා ඉන්දියාවේ හද්දා පිටිසර ගම්මානයක සිට පළමු වතාවට දිල්ලි නගරයට පැමිණෙන ඉතා දිළිඳු තරුණයකු පිළිබඳ කතාවක්. ඔහු බිල්ගෝන් නමැති සිය ගමේ දී සමාජ අසාධාරණය, දේශපාලනඥයන් ගේ වංචා දූෂණ සහ බලපුළුවන්කාරකම්, නිලධාරී තන්ත්‍රයේ සටකපටකම්, රජයේ විවිධ ආයතනවල අකටයුතුකම් ආදිය හොඳින් අත්විඳි කෙනෙක්.
මෙම තත්වය පිළිබඳව ඉතා අපූරුවට සහ උපරිම උපහාසයෙන් යුතුව නිරූපණය කරන එක් සිද්ධියක් තිබෙනවා. එනම් ඒ ගමේ පාසලේ සිසුන්ට විභාග සමත් වීම සඳහා කොපි කරන්නට කියා දෙන්නේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන්ම වීම යි. ඒ හරහා සිසුන් වැඩිපුර සමත් කර පාසලේ ජාම බේරා ගැනීම එහි අරමුණ බව යි පෙනෙන්නේ. වංචාව, දූෂණය පාසලෙන්ම පටන් ගන්නා බවක් පෙන්වන රූපාවලියක් තුළින් සමාජ පරිහානියේ තරම ගැන හදවතට කිඳා බසින, උපහාසයෙන් පිරිපුන් චිත්‍රයක් මවන්නට චිත්‍රපටය සමත් වෙනවා.
මෙවැනි ගමක උපත ලැබූ මනෝජ් ගේ ජීවිත සිහිනය බවට පත්වන්නේ අදූෂිත, අවංක, සෘජු ප්‍රතිපත්‍ති ඇති රජයේ නිලධාරියකු බවට පත් වීම යි. එය මනෝජ් ගේ සිහිනය වුවත් ඒ තුළින් ඉන්දියාවේම සිහිනය සංකේතවත් කිරීමට චිත්‍රපටය උත්සාහ දරනවා.
මනෝජ් ගමෙන් පිටව නගරයට එන්නේ ඔහුගේ ඉහත කී සිහිනය ඉටු කර ගැනීම අරමුණු කරගෙන යි. මේ සඳහා වන ඉතා තරගකාරී විභාග කිහිපයකට මුහුණ දී උසස් නිලධාරියකු ලෙස පත්වීමක් ලැබීමට ඔහු සිහින මවනවා.
මනෝජ් ආරම්භ කරන මේ ගමනේ පළමු අදියරේදී ම ඔහුව කොල්ලකනු ලබනවා. ඒ ගමේ සිට නගරයට එන බස් රියේ දී ඔහුගේ මුදල් ඇතුළු සබ්බ සකලමනාවම අඩංගු වූ ගමන් බෑගය සොරකම් කිරීම තුළිනු යි. මේ සිද්ධියත් සමග ඔහු අතේ සතයක්වත් නැතිව, ඇඳි වත පමණක් ඇතිව නගරයේ තනි වෙනවා. මෙය මනෝජ් යාමට බලාපොරොත්තු වන ගමන කෙතරම් අභියෝගාත්මක ද යන්න පෙන්වන සිදුවීමක්.
එයින් පසු චිත්‍රපටය ඉදිරියට යන්නේ මනෝජ් කුමාර් සිය සිහිනය ඉටු කරගැනීම සඳහා ගන්නා උත්සාහය සහ එහි දී ඔහු මුහුණ දෙන අනේකවිධ ගැටලු සහ බාධක ඇසුරෙනු යි. දැරිය නොහැකි තරගකාරීත්වයකින් සහ විසමතාවන්ගෙන් පිරුණු සමාජයක් තුළ සිය ජීවිත අරමුණු හඹා යාමේ දී අවවරප්‍රසාදිත පන්තියක තරුණයකු මුහුණ දෙන පීඩාවන් පිළිබඳවත්, සමාජයට අරක්ගත් දූෂිත, වංක, වංචනික ගති ස්වභාවයන් පිළිබඳවත් හදවතට දැනෙන විවරණයක් කිරීමට මේ හරහා 12th Fail සමත් වෙනවා.
ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස නම් කෙරුණත් 12th Fail "කලාත්මක සිනමාව" ලෙස පිළිගැනෙන සිනමා මාදිලියට අයත් වන්නක් ලෙස හඳුන්වන්නට අමාරුයි. මේ සිනමාපටය තුළ වඩාත් දැකිය හැකි වන්නේ ජනප්‍රිය සිනමාවේ ලක්ෂණ යි. සිදුවීම්, අවස්ථා සහ චරිත ගොඩ නැගීමේ දී, නළු නිළියන් හැසිරවීමේ දී භාවාතීශය, අතිනාටකීය ශෛලියක් අනුගමනය කිරීම වැනි ලක්ෂණ නිදසුන් ලෙස පෙන්වා දිය හැකියි.
මෙයට කලකට පෙර මෙවැනි සම්මාන දිනාගත් සත්‍යජිත් රායි, අදූර් ගෝපාලක්‍රිෂ්ණන්, ම්‍රිනාල් සෙන්, රිත්වික් ඝටක් ආදී සිනමාකරුවන් ගේ නිර්මාණ හා සැසඳීමේ දී මේ වෙනස හොඳින් වටහා ගත හැකියි.
ඉහත කී සිනමාකරුවන් බොහෝ දුරට යුරෝපීය කලාත්මක සිනමාවෙන් ආභාසය ලැබූවන් ලෙස සලකන්න පිළිවන්. ඔවුන් ගේ චිත්‍රපට රසික සමාජයේ වඩාත් "ප්‍රබුද්ධ" යයි සැලකෙන පිරිස් ඉලක්ක කර නිර්මාණය වූ ඒවා යි. නමුත් 12th Fail ඊට වඩා සාමාන්‍ය, සරල රස වින්දනයකින් හෙබි ප්‍රේක්ෂක පිරිස්වලට ගෝචර වන ආකාරයෙන් නිර්මාණය කෙරුණු සිනමාපටයක්.
මෙවැනි චිත්‍රපටවලට ජාතික සම්මාන ප්‍රදානය කිරීම එම සම්මානවල ප්‍රමිතිය පිරිහී ඇති බව පෙන්වන්නක් ද?
මා සිතන්නේ ඉන්දියාව මේ වනවිට සීමිත පිරිසකට විෂය වන යුරෝපියානු රාමුවේ, "කලාත්මක මාදිලියේ" චිත්‍රපටවලට වඩා ජනප්‍රිය මාදිලියේ, නමුත් යම් ගැඹුරක් සහිත සහ සමාජ මෙහෙවරකට දායක වන චිත්‍රපටවලට ගරු කිරීමේ පිළිවෙතකට එළැඹ ඇති බව යි.
මේ වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ දී ඉන්දියාව නියෝජනය කිරීම සඳහා ඉන්දියාවේ චිත්‍රපට ෆෙඩරේෂනය විසින් තෝරා ගන්නා ලද්දේ කිරන් රාඕ අධ්‍යක්ෂණය කළ Laapataa Ladies චිත්‍රපටය යි. නමුත් බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුණේ 2024 කාන් සිනමා උළෙලේ දී Grand Prix සම්මානයෙන් පිදුම් ලබා විශාල ජාත්‍යන්තර කීර්තියක් හිමි කරගත් පයාල් කපාඩියා ගේ All We Imagine as Light චිත්‍රපටය ඔස්කාර් උළෙල සඳහා තෝරා ගැනෙනු ඇති බව යි.
එය වෙනුවට Laapataa Ladies තෝරා ගැනීමට හේතු දක්වමින් චිත්‍රපට ෆෙඩරේෂනයේ සභාපති රවි කොට්ටකාර අපූරු කතාවක් කියා තිබුණා. ඔහු පවසා තිබුණේ All We Imagine as Light චිත්‍රපටයට වඩා හොඳින් Laapataa Ladies ඉන්දියානු සිනමාව, සමාජය සහ සංස්කෘතිය නියෝජනය කරන බව ජූරියේ අදහස වූ බව යි. Laapataa Ladies චිත්‍රපටයත් ජනප්‍රිය සිනමාවේ ලක්ෂණ නොමඳව ගැබ් කරගත් නිර්මාණයක්.
All We Imagine as Light චිත්‍රපටය ඉන්දියානු චිත්‍රපටයකට වඩා විදේශ චිත්‍රපටයක ලක්ෂණ ප්‍රකට කරන්නක් බවත් රවි කොට්ටකාර සඳහන් කර තිබුණා. සැබැවින්ම එම චිත්‍රපටය යුරෝපියානු කලාත්මක සිනමාවේ ආභාසය ලැබූවක් බව පැහැදිලිව හඳුනාගත හැකියි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය 12th Fail