(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේ සියයට 3 ක කොමිස් මුදල කප්පාදු කිරීම හේතුවෙන් එම ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව තෙල් බෙදුම්කරුවෝ පවසති.

සියයට 3 ක මෙහෙයුම් ලාභාංශය සියයට 1.3 ත් 1.6 ත් අතර ප්‍රතිශතයක් දක්වා අඩු කිරීමෙන් ඉන්ධන පිරවුම්හල් පිරිවැය දරාගැනීමට නොහැකිවීමෙන් ව්‍යාපාරයෙන් ඉවත්වීමට සිදුවී ඇති බව ද ඔවුහු කියති. ඉන්ධන හල්හිමියන්ට 2016 වර්ෂයේ සිට ගෙවූ සියයට 3ක මෙහෙයුම් ලාභාංශය 2025 වසරේ මාර්තු මස සිට අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් තෙල් සමාගම ගෙන ඇති තීරණය නිසා ඉන්ධන හල් පවත්වාගෙන යා නොහැකි බැවින් IOC සමාගමේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් එම ව්‍යාපාරයෙන් ඉවත්වීමට ගෙන තීබු තීරණය නිසා ඉන්දියන් සමාගම මෙම මස 1වැනිදා සිට නැවත සියයට 3ක වට්ටම් මුදල බෙදුම්කරුවන්ට තීරණය කර ඇති බවද බෙදුම්කරුවෝ කියති.

ඛනිජ තෙල් සංස්ථාව හැර අනිකුත් තෙල් සමාගම් සිය නියෝජිතයන්ට සියයට 3 ක වට්ටම් ප්‍රතිශතය ගෙවන බවත් සයිනොපෙක් සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් ඉන්ධනහල්වලට සියයට 3 ක කොමිස් මුදල පෙර පරිදිම ගෙවු අතර අයි.ඕ.සී ඉන්ධනහල් වෙත ගෙවන ලාභාංශය මෙම මස 1 වැනිදා සිට නැවත ගෙවීමට තීරණය කර ඇති බවත් තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සිපෙට්කෝ ඉන්ධනහල් හිමියන් 836ක් පමණ මෙම තත්ත්වය හේතුවෙන් දැඩ් මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව ද කියන එම සංගමය ලාංකීය ව්‍යායාපාරියන් සම්බන්ධයෙන් මෙවැනි අත්තනෝමතික තීරණයක් ගැනීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කිරීම පුදුම සහගත බව ද සඳහන් කරයි.