(අංජුල මහික වීරරත්න)

දිවයිනේ සෑම රෝහලක්ම සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත දිනපතාම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් ප්‍රදර්ශනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව හිමි වන බව ජනාධිපතිවරයා කීය.

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටළු සම්බන්ධව පැවති සාකච්ඡාදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 

කලා විෂය ධාරාව හැදෑරූ අයද හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස  රෙගුලාසි සංශෝධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.