(අංජුල මහික වීරරත්න)

2026 වසර සඳහා අනුමත ප්‍රතිපාදන යටතේ ආරම්භ කළ සියලුම සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස තුන ඇතුළත අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (11) පැවැති කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටු ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙම සාකච්ඡාවේදී කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කෙරෙන විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, "ප්‍රජා ශක්ති" දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන සහ ක්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීමේ වැඩසටහන යන ව්‍යාපෘතිවල ප්‍රගතිය දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් විය.

ඊට අමතරව බස්නාහිර පළාත් සංවර්ධන වැඩසටහන, පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් මගින් කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල පවතින තත්ත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

සංවර්ධන වැඩසටහන් වල වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමෙන් ඒවායේ පවතින ගැටලු හඳුනාගෙන අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමටත්, බාධාවකින් තොරව ව්‍යාපෘති කඩිනමින් නිමකර ජනතාවට ප්‍රතිලාභ ලබාදීමටත් හැකිවන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

විශේෂයෙන්ම මෙම සියලු ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ දරිද්‍රතාව තුරන් කිරීම වන බැවින්, අත්දැකීම් මත පදනම් වූ නිර්නායක සකස් කර නියාමනය කිරීම මගින් එම වැඩසටහන්වල ගුණාත්මකභාවය මෙන්ම දීර්ඝකාලීන ප්‍රතිඵලදායක බව තහවුරු කළ යුතු බව ද ඇය සඳහන් කළාය.