(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා බැතිමතුන් වැඩි පිරිසකට වන්දනාමාන කිරීමට අවස්ථාව සැලසීම සඳහා දවසේ පැය 24 පුරාම ප්‍රදර්ශන කිරීමට තීරණය කර තිබේ.

 විදේශීය සංචාරකයන්, ගැබිණි මව්වරුන් සහ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ ප්‍රමුඛතා පෝලිම් ක්‍රමයක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්  කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති  විශේෂ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන මෙම සර්වඥ ධාතු 4 වැනිදා සිට 11 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් ගම වන ගුජරාට් ප්‍රදේශයෙන් 60 දශකයේදී සොයා ගන්නා ලද මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති  සර්වඥ ධාතු 

මෙරට ජනතාවට වැඳපුදා ගැනීම සඳහා වැඩම කරවීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන්

සර්වඥ ධාතු වැඩම කරවයි.

ධාතු වන්දනාවට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ප්‍රවාහන, සනීපාරක්ෂක හා ආරක්ෂක පහසුකම් විධිමත් කිරීමට රජයේ සියලු ආයතන එක්ව සැලසුම් සකස් කර තිබේ. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ සේවා එක්ව විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක  කරනු ඇත. 

ධාතු වන්දනාව සඳහා පෝලිම්වල රැඳී සිටින බැතිමතුන් වෙනුවෙන් දන්සැල් සහ සංග්‍රහ කටයුතු සංවිධානය කිරීමට දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීමට ද පියවර ගෙන ඇතැයි සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කියවිණි.

මෙම විශේෂ සාකචිජාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය හර්ෂණ නානායක්කාර , නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල,කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි කොළඹ  දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහත්වරු ද සහභාගී වූහ.