(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරික්ත මුදලින් 2013 වසරේදී ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට  දුන් ණය මුදල නැවත ගෙවීම පැහැර හැරීම හේතුවෙන්  රුපියල්  කෝටි දාහතක මුදලක් පාඩුවක් විඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) පවසයි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට  සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව කැඳවා  2021 - 2023 වර්ෂයන් සඳහා වූ විගණකාධිපතිවරයාගේ ත්‍රෛවාර්ෂික විගණන වාර්තාවත්, 2024 වර්ෂය සඳහා වූ විගණකාධිපතිවරයාගේ වාර්තාවත්  සහ වර්තමාන කාර්යසාධනයත්  පරීක්ෂා කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වය දරණ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA),ඔහු  නොපැමිණීම  දන්වා තිබූ බැවින්,  පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සභාපතිත්වයෙන්  එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් විය.

මෙහිදී 2021 අගෝස්තු 05 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබා දුන් නිර්දේශ වල  වර්තමාන තත්ත්වය විමසා බලන බැලිණි.

සමුපකාරයේ පවතින රීතිවලට පරිබාහිරව මෙම මුදල ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබා දී ඇති බවද මෙහිදී අනාවරණය විය. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව පාඩු ලැබීම නිසා  2015න් පසු මෙම ණය මුදල් පියවීම නතර කර ඇති බව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීහු පැවැසුහ.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව මේ පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට කාරක සභාවේදී තීරණය විය.

සමුපකාර සංවර්ධන අරමුදල මගින් ණය ලබා දී වර්ෂ 12ත් 59ත් අතර කාලයක් ගතවී ඇති සමුපකාර සමිති 28කින් රුපියල් කෝටි තුනකට  අධික මුදලක් අයකර ගැනීමට පවතින බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දුන්නේය