
(ඩයනා උදයංගනී)
සිංහල සිනමාවේ කිවිඳිය යන විරුදාවලිය ලත්, ප්‍රවීණ සිනමාවේදිනී අභාවප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අද (21) පස්වරුවේ සිදුකෙරිණි.
සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය අවසන් ගෞරව සඳහා කොළඹ 05, තිඹිරිගස්යාය, ගවර්ස් පටුමගේ, අංක 15/2, ලිපිනයේ පිහිටි ඇයගේ සොහොයුරියගේ නිවසේ තැන්පත් කර තිබූ අතර අද දින එය රථ පෙරහැරකින් ජාතික චිත්‍රපට සංස්ථාව දක්වාත්, එතැන් සිට නිදහස් චතුරස්‍රයටත් රැගෙන එනු ලැබිණි.
ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන, මහාචාර්ය සුනිල් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ආදී විශාල පිරිසක් පැමිණ සිටියහ.
ලාංකීය සිනමාවේ ප්‍රගමනයට අමිල දායකත්වයක් ලබාදුන් සුමිත්‍රා පීරිස් මහත්මිය දෙස් විදෙස් සම්මානලාභී සිනමා අධ්‍යක්‍ෂවරියක හා සංස්කාරකවරියක වූවාය.
ලෝක පූජිත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිය වූ සුමිත්‍රා පීරිස් මහත්මිය මෙරට සිනමාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්‍ෂවරිය ද වන්නීය.
ආචාර්ය ලෙස්ටර් සූරීන්ගේ ”සංදේශය” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂිකාව ලෙසින් 1960 වසරේ දී සිනමාවට පිවිසි ඇය ඉන්පසු සිනමා අධ්‍යක්‍ෂවරියක ලෙසින් මෙරට සිනමා ක්‍ෂේත්‍රය වෙනුවෙන් අද්විතීය මෙහෙවරක් ඉටුකළාය.
“ගැහැණු ළමයි” චිත්‍රපටයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ඇය ඉන් අනතුරුව “ගඟ අද්දර”, “යහලු යෙහෙලි”, “මායා”, “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා”, “ලොකු දුව”, “දුවට මවක මිස”, “සක්මන් මළුව”, “යහලුවෝ”, “වෛෂ්ණාවී” ආදී චිත්‍රපට රැසක් අධ්‍යක්‍ෂණය කරමින් සරසවිය, ජනාධිපති සම්මාන, සිග්නීස් ආදී මෙරට සිනමා සම්මාන උළෙලවලදී මෙන්ම ලන්ඩන් සිනමා උළෙල, ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙල, මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල, ආදී ජාත්‍යන්තර සිනමා උළෙලවලදී ද සම්මාන රැසකගෙන් පිදුම් ලැබුවාය.
අද දින ඇය දැයෙන් සමුගත්තේ කලාකරුවන් මෙන්ම මෙරට සිනමාලෝලීන්ගේ සෝ සුසුම් මධ්‍යයේය.
(ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව!
අතීතයේ මායා…. රූ කැඩී බිදී යාවී…. අනාථවූ මා දෑසේ…. කතා නිමා වේවී…. මගේ කදුළු හංගා…. මා සිනා සිසී ඉන්නේ….. ඔබේ ලොවේ හිරු පායා….. සදා සිනාසේවා…..! ශුභ ගමන් මැතිනිය….!
ගරු මැතිනියනි ..."... සදා මේ සංසාරයේ අපේ හමුවීම නොවේ.." මන්ද යත්...ඔබ තුමිය නිවන් දැක අවසාන නිසයි.ශ්‍රී ලංකික චිත්‍රපට මාධ්‍ය වෙනුවෙන් ඔබත් ලෙස්ටර් මහත්මයත් කල අනුපම මෙහෙවර වෙනුවෙන් "ස්තුතියි " කීම හැර වෙන කුමක් කරන්නද...?
ස්ටීවන් ස්පීල්බර්ග් මියැදි දිනයක ඔහුගෙ මලගම නිව් යෝක්හි ටය්ම් චතුරස්‍රයේ තිබේද?
නිවන් සුව ලැබේවා ....!!