
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද අනුමැතියකින් තොරව ආරම්භ කිරීම පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට තීරණය කර ඇත
ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 32ක් වියදම් කළද ආදායම වශයෙන් ලැබී ඇත්තේ දෙකෝටි විසි ලක්ෂයක් පමණක් බවද එම කාරක සභාවේදී තොරතුරු හෙළිවී ඇත.
2021 වසරේදී රු. මිලියන 700 ක් වියදමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමුකර තිබුනත් ඒ සඳහා කිසිදු ශක්‍යතා අධ්‍යනයක් සිදුකර නොතිබූ බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. එමෙන්ම මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ මැදිහත් වීමක් සිදු නොවූ බවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීහු කෝප් කමිටුව හමුවේ පැවැසුහ.
මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2022 හා 2023 වර්ෂයන් සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 08 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 700 ක මුදලක් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අනුමත කරගෙන තිබුණද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඒ සඳහා රු. මිලියන 350ක් නිදහස් කර තිබු බව පැවසුවේය. එමෙන්ම ඉන් රු. මිලියන 302 වියදම් කර තිබු අතර අදායම් ලෙස ව්‍යාපෘතිය මගින් රු. මිලියන 22ක් පමණක් ලැබී තිබු බවද වැඩිදුරටත් කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය.
මෙහිදී කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නීති හා මුදල් අධ්‍යක්ෂවරුන් මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාදීම, කොමිෂන් සභා පනතට පටහැනි බවට ලිඛිතව නිරීක්ෂණ ලබාදී තිබු බව පැවැසුහ. කෙසේ වෙතත් අමාත්‍යාංශ මට්ටමින් තමන් වෙත ලැබෙන නියෝග ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බැවින් මුදල් නිදහස් කිරීමට කටයුතු කළ බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මුදල් අධ්‍යක්ෂවරයා පැවසුවේය. තවද මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා මුදල් අනුමත කිරීම කොමිෂන් සභා පනතට පටහැනි බවට නිරීක්ෂණ ලබාදීම හේතුවෙන් තමන්ට පීඩාවන් සිදුකළ බව කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂවරයා කෝප් කමිටුවට පැවසුවේය.
දිවයිනේ ස්ථාන 35ක මෙම කාබනික පොහොර නිෂ්පාදනය ආරම්හ කිරීම සඳහා මෙලෙස මුදල් ලබාදී තිබුණද මේ වනවිට ස්ථාන පහක ඒ සඳහා ඉදිකළ ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පවතින බවද කාරක සභාවේදී අනාවරණය විය.
මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා මෙම අසාර්ථක වූ කාබනික පොහොර ව්‍යාපෘතිය මගින් මුල්‍ය වංචාවක් සිදුව තිබේද නැද්ද යන්න පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අදාළ නීතිමය කටයුතු සඳහා අදාළ ආයතන වෙත පැමිණිලි කිරීමට සුදානම් බව පැවසුවේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවද එම අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේය.
මේ අතර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමතියකින් තොරව ආවරණ අනුමතියට යටත්ව යැයි සඳහන් කරමින් සේවකයින් සඳහා ස්ථිර නව පත්වීම් ලබා දීම පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ, චමින්ද විජේසිරි, නීතිඥ සමන්මලී ගුණසිංහ, සුදත් බලගල්ල, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, ජගත් මනුවර්ණ, සුනිල් රාජපක්‍ෂ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත , ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුවට දේශපාලන පෞරුෂ තිබුණ අයගේ කලමනාකරණය අන්තිම ඉහල නිසා රටට කරල තියෙන විනාශයක්! මේ රට මේ තරමින් හරි ඉතුරුවෙලා තියෙන එක පුදුමයක්.
ඇමතිවරු 3 දෙනෙක් ඉඳලත් කවුද මෙය ඉඩම් කොමිසමට භාර දුන්නේ කියා පළමුව හොයා බලන්න
කොහොමද පලපුරුද්ද?
ඇයි ඔබලාට ඇහුනේ නැද්ද කමිටුවේදී කියවුනා හිටපු ඇමතිගේ කීමට අමාත්‍යංශයේ ලේකම් අඩි හප්පලා පුටු පොලවේ ගහලා අනිත් නිලධාරීන්ව තර්ජනය කරලා සල්ලි පාස් කරලා දුන්නා කියන කතන්දරේ. අනේ මන්දා එත් අපේ රටේ සමහර මිනිස්සුන්ට මේවා තේරෙනවද මන්දා පුදුම හදිස්සියක් තියෙන්නේ මැතිවරණ වලදී හොරුන්ට ආයෙත් චන්දෙ දීලා ගෙන්න ගන්න.