
(විමුක්ති එස් රුද්‍රිගු)
දින තුනක සිට අධික වර්ෂාවක් නව සොගමා ජනපදයට ලැබෙන බවත් මැදි අවදානම් ලෙස නම්කර පැයක් තුළ මිලි මීටර් 50 ක් හෝ පැය 24ක් තුළ මිලි මීටර් 100ක වර්ෂාවක් ලැබුණොත් ඉවත්වන ලෙස දැනුම් දී ඇතත් තමන්ට යාමට තැනක් නොමැති බවත් සොගමා ජනපදයේ ඉතිරිවී සිටින ගම්වැසියෝ ප්‍රකාශ කළහ.
අධික වර්ෂාවක් ලැබෙන සෑම අවස්ථාවකදීම තමන් ඉතාමත් බියෙන් පසුවන බවද ගම්වැසියෝ පැවැසූහ.
පවුල් හතක් පමණක් ඉතිරි කර අනෙක් සියලු දෙනා දැඩි අවදානම් ලෙස නම්කර ඉවත් කර තිබෙන බවත් මිලිමීටර 100 ක වැස්සකදී තමන්ට යාමට තැනක් නොමැති බවත් ඉතිරි වී සිටින ගම්වැසියෝ ප්‍රකාශ කළහ.
මීට පෙර බලධාරීන්ට දැනුම් දුන්විට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට කිසිම දිනක වැරදීමක් සිදු නොවන බවත් අවශ්‍ය නම් පුද්ගලිකව මුදල් ගෙවා නැවත වරක් පරික්ෂා කර ගන්නා ලෙස දැනුම් දුන් බවත් ඉතිරි වී සිටින ගම්වැසියෝ චෝදනා කළහ.
තම දරුවන් සමඟ වැස්සකදී නින්දට යන්නේ ඉතාමත් බියෙන් බවත් රාත්‍රියේදී මිලිමීටර් 100 ඉක්මවා වර්ෂාව ලැබුණහොත් තමන් ඉතාමත් අසරණ වනු ඇති බවත් ගම්වැසියෝ ප්‍රකාශ කළහ.
ගමට ලියුම්ද පවා නොලැබෙන බවත් බලධාරීන් පැමිණෙන්නේද කලාතුරකින් බවත් ඒ හේතුවෙන් හැකි ඉක්මනින් සහනයක් ලබාදෙන ලෙස රජයෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් ගම්වැසියෝ පැවැසූහ.
ගම්පොළ අටබාගේ ඉහළගම ඒකනායක මන්තින්දාරාමයේ විහාරාධිපති ලැගුම්දෙනියේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර සිටියේ පසුගිය දිට්වා සුළි කුණාටුව සමයේ ග්‍රාම සේවා වසම් අටක පමණ විශාල ගැටලුවක් මතුවූ බවත් විශේෂයෙන්ම පොළොව ඉරිතැලීම හේතුවෙන් බොහෝ පිරිසක් බියට පත්වූ බවත්ය. ඇතැම් නිවෙස් පුපුරා ගොස් ඒවායේ පදිංචිවීමට නොහැකි වූ බවද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේය.
එහිදී ඇතැම් ප්‍රදේශවාසීන් රජයෙන් සහන ලැබෙද්දී මැදි අවදානම් ලෙස නම් කර පවුල් විශාල පිරිසක් බරපතළ ගැටලුවකට මුහුණදී සිටින බවද ධම්මානන්ද ස්වාමින් වහන්සේ පැවැසුවේය.
විහාරස්ථානයේද එක කොටසක් මැදි අවදානම් ලෙසද අනෙක් කොටස දැඩි අවදානම් ලෙසද නම් කර තිබෙන බවත් ඉහළ කඳුමුදුන්වල ජීවත්වන සොගමා ජනපදය වැනි ගම්මානවල මැදි අවදානම් ලෙස නම් කර ඇති ජනතාව විශාල ගැටලුවකට මැදිවී තිබෙන බවත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේය.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාවට අනුව පැයක් තුළ මිලි මීටර් 50 ක් හෝ පැය 24ක් තුළ මිලි මීටර් 100 ට වැඩි වැස්සක් වැස්සොත් නිවෙස්වලින් ඉවත්වන ලෙස දැනුම්දී තිබෙන බවත් රාත්‍රියකට දැඩි වර්ෂාපතනයක් ලැබුණහොත් සොගමා ජනපදය වැනි ඉහළ ගම්මානවල ජීවත්වන වැසියන්ට ඉවත් වීමට තැනක් නොමැති බවත් ස්වාමින් වහන්සේ පැවැසුවේය.
එහි ප්‍රයෝගික ගැටළු රැසක් තිබෙන බවත් බොහෝ නිවෙස්වල රෝගීන් සහ ළමයින් සිටින බවත් ධම්මානන්ද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේය. අධික වර්ෂාව ලැබෙන විට කඳු මුදුන්වල ජීවත්වන ජනතාව දැඩි බියකින් සහ අසහනයකින් ජීවත්වන බවත් ඒ හේතුවෙන් ඉහළ කඳු මුදුන්වල ජීවත්වන මැදි අවදානම් පවුල්වලට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ධම්මානන්ද හිමියෝ පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd