2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විභාග කටයුතු අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වන අතර, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම, ප්‍රචාරය කිරීම හෝ විභාග ප්‍රශ්න ලබාදෙන බවට හෝ සමාන ප්‍රශ්න ලබාදෙන බවට සඳහන් කරමින් පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා සහ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීම නීතිවිරෝධී බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එමෙන්ම එවැනි ප්‍රචාරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම ද නීතිවිරෝධී බව දැනුම් දී ඇත.

2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.