(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් 70ක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

මේ අනුව අගෝස්තු මස 21 වැනිදා පෙත්සම් 07ක්ද අගෝස්තු 24 වැනිදා පෙත්සම් 04ක්ද අගෝස්තු 25 වෙනිදා පෙත්සම් 08 ක්ද අගෝස්තු 28 වෙනිදා පෙත්සම් 05ක්ද අගෝස්තු 31 වැනිදා පෙත්සම් 31ක්ද  සැප්තැම්බර් මස 01 වැනිදා පෙත් සම් 10ක්ද සැප්තැම්බර් 03 වෙනිදා පෙත්සම් තුනක්ද සැප්තැම්බර් 4 වැනිදා පෙත්සම් දෙකක්ද තමාට ලැබී ඇති බව  කතානායකවරයා පැවසුවේය.

මේ අතර අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් ව ඇති පෙත්සම් හතක පිටපත්ද දූෂණ විරෝධී පනතට එරෙහිව ඉදිරිපත්ව  ඇති පෙත්සම් 15ක පිටපත්ද  තමාට ලැබී ඇති බව  ජගත් වික්‍රමරත්න  මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසූවේ  සභාවේ  කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

මම මේ මැදිහත්වීම කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  ප්‍රකාරවයි. මේ කාල සීමාව තුළ ඉදිරිපත් කරපු පෙත්සමක් සලකා බලා නැහැ. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා:

පළමු දේ තමයි. උසාවියේ බේරගන්න තියෙන දේවල් උසාවියේ බේරගන්න. මෙතන තීරණය කරගත්ත දේවල් තමයි මෙතන කතා කරන්නේ.කොහෙද යන්නේ මල්ලේ පොල්. විපක්ෂ නායකතුමාට ස්ථාවර නියෝග ඉගෙන ගන්න උපදේශකයෙක් අරගෙන දෙන්න. හිටපු නවුෆර්  මහත්තයා හරි.

(විපක්ෂයෙන් බාධා)