(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රට පුරා මේ දිනවල සිදුවන්නේ විදුලිය කපා හැරීම් නොව හදිසි විදුලිය  බිඳ වැටීම් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී  අද  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා  මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු  දෙමිනි.

බලශක්ති ඇමති:

මේවා ජනතාව නොමඟ යවන්න මතු කරන ප්‍රශ්න. සමහර අවස්ථාවලදී විදුලි පද්ධතියේ යම් යම් බිඳවැටීම් සිද්ධ වෙනවා. මේවා කෙටි කාලයක් ඇතුළත යථා  තත්වයට පත් කිරීමට කටයුතු කරනවා.

මුජිබර් රහුමාන් මහතා

අප්‍රේල් 4 වැනිදා ඉඳලා රට පුරා කිසිදු පෙර දැනුම් දීමක් නොකර විදුලිය කපා හැරීම් සිද්ධ වෙනවා. කිසිම දැනුම්දීමක් නෑ. ඒ වගේම  ඒ විදියට ජලයත් කපනවා. පසුගිය දිනවල කොළඹට ජලය පැය 24ක් කැපුවා. ඇයි මේ හොරෙන් කපන්නෙ. දැනුම් දීල කැපුවනම් ඉවරයිනේ.

ඊයේ කොළඹ නගරයේ පැය දෙකක් විදුලිය හිටිහැටියේම කපා හැරියා. ඒ වගේම තවත් ප්‍රදේශවල විදුලිය කපා හැරලා තියෙනවා. විපක්ෂ නායක කාර්යාලය තියෙන ප්‍රදේශයේත් විදුලිය  කැපුණා.