(ටී.කේ.ජී.කපිල)

ටෙක්සාස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති 2026 වසරේ මැයි 15 දින ජාත්‍යන්තර  "වෙසක් දිනය" පිළිබද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රජය දැනුවත් කිරීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ , ඩලස්හි කණ්ඩාවෝ විහාරස්ථානයේ විහාරධිපති රතනගුණ හිමියන් ප්‍රධාන බෞද්ධ දූත පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (28) උදෑසන වැඩම කර සිටියහ .

මෙම ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය එරට වාසය කරන ශ්‍රී ලංකා , ඉන්දියා , තායිලන්ත ,චීන , බංගලදේශ , හීනයාන , මහායාන සහ තන්ත්‍රයාන භික්ෂුන් වහන්සේලා දීර්ඝ කාළයක් තුළ ගත් ප්‍රයත්නයක ප්‍රතිඵලයකි .

බෞද්ධ භික්ෂු  දූත පිරිස සමග එරට වාසය කරන ගිහි දූත පිරිසක් ද පැමිණ සිටි අතර පිරිස පිළිගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල , අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ විහාරධිපති ආචාර්ය ආනන්ද හිමි , පුනරුත්ථාපන කොමසාරිස් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්වරුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

මෙම වෙසක් දින උත්සවයේ දී ටෙක්සාස් ඩලස් කණ්ඩාවෝ විහාරස්ථානයේ දී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් සහ චෛත්‍යයක් ඉදිකිරීම සදහා මුල් ගල් තැබීමට ද නියමිතය .