(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයාට සහන ලබාදීමට රුපියල් කෝටි 17,21 කට වැඩි මූල්‍යමය සහනාධාරයක් සැපයීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව (23) අනුමත කිරීමට නියමිතය.

මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට හෙට (22) ඉදිරිපත් කෙරේ.

මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනු ලබන්නේ, 2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගිනි.

ඒ අනුව, මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරේ.

මේ අතර සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

මෙම තීරණය ගත්තේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීය.