(අංජුල මහික වීරරත්න)

බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට පත් කළ ආර්ථික අවේක්ෂණ කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සිදු වන තෙල් මිල ඉහළ යාම, නාවික සැපයුම්වල බාධා ඇති වීම සහ ජාත්‍යන්තර වෙළෙඳ  කටයුතුවලට ඇති වී තිබෙන අපහසුතා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි අයහපත් බලපෑම් පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

මෙම තත්ත්වය හමුවේ  මෙරට වෙළෙඳපොළ ස්ථාවර කිරීමට සහ පුරවැසියන් ආරක්ෂා කිරීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, පසුගිය කමිටු රැස්වීමේදී  සාකච්ඡා කළ කරුණු සමාලෝචනයට ලක් කිරීමද මෙහිදී සිදු විය.

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහබැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් සහ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජයසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය සහ ආර්ථික කටයුතු) රසල් අපොන්සු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා, ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ්හි සභාපති චන්න ගුණවර්ධන, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත හනීෆ් යූසුෆ්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ආර්.කේ. ඔබේසේකර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, නියෝජ්‍ය මහ බැංකු අධිපති සී.අමරසේකර, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආර්ථික කටයුතු) දර්ශන එම්. පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.