(රෝෂන් තුෂාර)

බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කරමින් ලෝක ප්‍රකට වෙළඳ නාම වන කැල්ටෙක්ස් සහ ඩෙලෝ ජනප්‍රිය වෙළඳ ලකුණු නීති විරෝධීව  අනුකරණය කර ලිහිසි තෙල් නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවි කිරීම සිදු කළේ යැයි කියන මාවනැල්ලේ සහ කෑගල්ලේ වෙළඳ ආයතන දෙකක හිමිකාර සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හැරීමට, මාවනැල්ල සහ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ පසුගියදා නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කෙරිණි.

මාවනැල්ල  මහේස්ත්‍රාත් යූ.එල්.ඩබ්ලිව්.අහමඩ් මහතා සහ කෑගල්ල  මහේස්ත්‍රාත්  මොහොමඩ් ෆයිස් සම්මුත් ජහාන් මහත්මිය හමුවට සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් පසුව දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියෝග නිකුත් කළහ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මාවනැල්ලේ එස්.එෆ් මාර්කටින් සහ කෑගල්ලේ ජේ.ඩබ්ලිව්. ඔටෝ වෙළඳ ආයතනයේ හිමිකරුවන් මෙසේ ඇප මත මුදා හැරීමට නියම කෙරිණි.

සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් ව්‍යාජ එන්ජින් ඔයිල් අඩංගු අර්ධ වශයෙන් පිරවූ බැරල් හතරක්, ඩෙලෝ බැරලයක් , කැල්ටෙක්ස් සන්නාමය සහිත බැරල් තොගයක ලේඛනයක් ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අගතියට පත් පැමිණිලිකාර ආයතනය වෙනුවෙන් පෙනී සිටි සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි නීතීඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ 2006 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ව්‍යාජ භාණ්ඩ විකිණීම, සන්තකයේ තබා ගැනීම, නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම අපරාධ වරදක් වන බවය.

වාහන හිමිකරුවන් නොමග යවමින් ලොව ප්‍රමුඛ පෙළේ වෙළඳ නාම අනුකරණය කර අයුතු වාසි ලබාගෙන ඇති සැකකරුවන් මෙරට වාහන භාවිතා කරන්නන් මහත් අවදානමකට ඇද දමා ඇති බවත්,දැඩි පරීක්ෂණ සහ තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලීන්ට භාජනය කරමින් නිෂ්පාදිත  අව්‍යාජ ලිහිසි තෙල් භාවිතා නොකිරීමෙන්  වාහනවල  එන්ජින් ඇඳීම, යාන්ත්‍රික දෝස ඇති වීම, විමෝචනය වැඩි වීම සහ මිල අධික අලුත්වැඩියාවන්ට හේතු විය හැකි බවය. ප්‍රමිතියෙන් තොර හෝ දූෂිත ද්‍රව්‍ය අඩංගු විය හැකි ව්‍යාජ ලීසි තෙල් භාවිතා කිරීම තුළින් පාරිභෝගිකයාට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවිය හැකි බවද පෙන්වා දුන්නේය .

කරුණු සලකා බැලූ මාවනැල්ල මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය අගෝස්තු මස 25 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ අතර, කෑගල්ල මහේස්ත්‍රාත්වරිය විසින් නඩුව නැවත නොවැම්බර් 02 දින කැදවීමට නියෝග කළාය.