(අංජුල මහික වීරරත්න)

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC. සමාගම අතර ශ්‍රී ලාංකික සුදුසුකම්ලත් වෘත්තිකයන් ජපානයේ රැකියා සඳහා බඳවා ගැනීම හා යොමු කිරීම ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරිණි.

මෙම අවබෝධතා ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව සහ ජපානය යන දෙරටේ කම්කරු නීති, රෙගුලාසි සහ අදාළ ප්‍රමිතීන්ට අනුකූලව නීත්‍යානුකූල, සදාචාරාත්මක සහ විනිවිදභාවයෙන් යුත් ආකාරයෙන් ශ්‍රී ලාංකික වෘත්තිකයන් ජපානයේ රැකියා සඳහා බඳවා ගැනීම සහ යොමු කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සහයෝගීතාව සහ සම්බන්ධීකරණය වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

තොරතුරු තාක්ෂණ ඉංජිනේරු සේවා සහ රැකියා ස්ථානගත කිරීම පිළිබඳ විශේෂඥතාවක් ඇති METATECHNO INC. සමාගම, ජපානයේ ඉහළ යමින් පවතින දක්ෂ මානව සම්පත් අවශ්‍යතාව සපුරාලීම සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික වෘත්තිකයන් හඳුනාගෙන බඳවා ගැනීම හා රැකියා සඳහා යොමු කිරීමේ කටයුතුවලදී ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය සමඟ සමීපව කටයුතු කරනු ඇත.

 විශේෂයෙන් තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු සහ අනෙකුත් වෘත්තීය ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකිකයන් සඳහා නව රැකියා අවස්ථා රැසක් මෙම සහයෝගීතාව තුළින් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අවබෝධතා ගිවිසුමට ජපානයේ METATECHNO INC. සමාගමේ සභාපති නකයාමා හිජිරි (Nakayama Hijiri) සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (පුද්ගලික) සමාගමේ සභාපති ආනන්දලාල් හෙට්ටිආරච්චි මහත්වරු අත්සන් තැබූහ.