(ඉංගිරිය -නිමාලි කහවල)                      

කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඉංගිරියට නුදුරු නම්බපාන ප්‍රදේශය මේ වනවිට දරුණු ගංවතුර අවදානමකට මුහුණ දී ඇති අතර, මේ හේතුවෙන් රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.           

ඒ අනුව රත්නපුර - පානදුර මාර්ගය තාවකාලිකව ඉංගිරියට නුදුරු නම්බපාන ප්‍රදේශයෙන් වසාදමා ඇති අතර, පොදු ප්‍රවාහන සේවා සියල්ල ඉංගිරියේ සිට පානදුර දක්වා පමණක් ක්‍රියාත්මකව පවතී.

ඉංගිරිය අවට පහත් බිම් රැසක්ද මේ වනවිට ජලයෙන් යටව පවතින අතර, ඒ අනුව නම්බපාන, ඌරුගල, දිවුල්පොත, ගාල්ලෙගම ආදී ප්‍රදේශ රැසක ජනතාව ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.

පවතින තත්ත්වය හමුවේ ඉංගිරිය පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හොරණ ප්‍රාදේශීය සභාව, විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුළු රාජ්‍ය අංශ නිලධාරීහු ප්‍රදේශවාසීන්ද සමඟ එක්ව ජනතාවට සහන සැළසීමේ කටයුතුවල නිරතව සිටින අතර, හොරණ ප්‍රාදේශීය සභාව විසින් බෝට්ටු සේවයක්ද මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ.