(ඩයනා උදයංගනී)

රටේ ආර්ථිකය කඩා වැටුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ නොවන බවත්, යුද්ධයෙන් පසු බලයට ආ රජයන් තුනම ඊට වග කිව යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

2009 -2015 කාලය තුල රටේ ණය බර රුපියල් බිලියන 2200 සිට බිලියන 7400 දක්වා වැඩි වූ බව කී මන්ත්‍රීවරයා ඉහල පොලී වලට කෙටි කාලීන වානිජ ණය ගැනීම ආරම්භ කළේ රාජපක්ෂ ආණ්ඩුව බව ද සඳහන් කළේය. 

 මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව දිගින් දිගටම ණය ගනිමින් ආදායම් නොලැබෙන සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ බවත් එම යටිතල පහසුකම් සංවර්ධනය පිටුපස විශාල නාස්තියක් හා දූෂණයක් තිබූ බවත් ගොඩහේවා මහතා සඳහන් කළේය. 

ඉන්පසු බලයට ආ මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවද පෙර පැවති රජයටත් වඩා නාස්තිය දූෂණය සිදු කළ බවත්, එම කාලයේදී ණය බර රුපියල් බිලියන 7400 සිට රුපියල් බිලියන 13,000 ට වැඩි වූ බවත් හෙතෙම පැවසීය. 

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට මහන්සි වූ කණ්ඩායම් ආර්ථික කළමණාකරන සැලැස්මක් සකසා තිබුණත් ඔහු බලයට ආ පසු සැලැස්ම සකස් කල පිරිස අමතක කර 2015 ට පෙර රටේ ආර්ථිකය කළමනාකරණය කල පිරිසටම ආර්ථිකය බාරදීම නිසා අපේක්ෂිත අරමුණු ඉටු නොවූ බව මන්ත්‍රීවරයා කීවේය.