(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් පද්ධතිය නවීකරණය කිරීම අරමුණු කරගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී පසුගිය වසරක කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ බදු පද්ධතිය, රේගු ක්‍රමවේද, සුරාබදු කළමනාකරණය සහ සමස්ත රාජ්‍ය ආදායම් ආකෘතිය මධ්‍යකාලීන උපායමාර්ගික සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සිදු කෙරිණි.

ඊට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟද විශේෂ සාකච්ඡා පවත්වනු ලැබීය.

ඒ අනුව ඩිජිටල් ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක සැලසුම්, දත්ත ඒකාබද්ධ කිරීම වේගවත් කිරීම, මානව සම්පත් හා නායකත්ව පුහුණු වැඩසටහන් සහ බදු පදනම පුළුල් කිරීමේ තිරසාර ක්‍රමවේද පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ විශේෂ අවධානය යොමු කෙරුණ අතර එම ක්‍රියවලියේදී RARMB කාර්යාංශය “ශක්තිමත් පාලන රාමුවක් සහිත ප්‍රතිසංස්කරණ කේන්ද්‍රයක්” ලෙස කටයුතු කර ඇති බවට ඇගයීමට ද ලක් විය.

මෙහිදී ශ්‍රී ලංකා රේගුව, දේශිය ආදායම් බදු සහ සුරාබදු යන දෙපාර්තමේන්තුවලට අදාළව ක්‍රියාත්මක කෙරෙන ‍මෙම වැඩපිළිවෙල සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ තාක්ෂණික සහ උපදේශන සහාය ලබාදීමට එකඟතාව පළ විය.