(අංජුල මහික වීරරත්න)

 ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් යළි රැකියාගත කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක  මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අදාල කමිටුව පත් කිරීමට පියවර ගැනිණි. 

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ක්‍රියාකාරී කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරු කටයුතු කරති.