(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බාර අරමුදල්  පනත සංශෝධනය කිරීම සඳහාවූ පනත් කෙටුම්පතට වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරකසභාවේ අනුමැතිය ලැබිණ.

වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව  අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා ( 25 )  පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර පනතට අනුමැතිය හිමිවූයේ එම රැස්වීමේදීය.

මෙම ( සංශෝධන) පනත් කෙටුම්පත මගින් කරුණු 03ක් ප්‍රධාන වශයෙන් සංශෝධනයට ලක් කෙරෙන  බව  අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ලලිත් ඇතුලත්මුදලි ශිෂ්‍යත්ව අරමුදල ලෙස නම වෙනස් කිරීම, මහපොළ භාරකාර අරමුදලේ සභාපතිධූරය ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වය යටතට පත් කිරීම සහ එම ආයතන පිළිබඳව පොදු දේපළ  පනත යටතේ කටයුතු කිරීම එම  සංශෝධන තුන බව ඔහු පැවසීය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ළගදීම ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.