ලංකාවේ ජනතාවගේ ඇඟිලි සලකුණු හා ඇස් අසාදු ලේඛනගත ඉන්දියානු සමාගමකට ලබාදීමේ ආණ්ඩුවේ සැලසුමක් ඇතැයි ජන අරගල ව්‍යාපරයේ වසන්ත මුදලිගේ මහතා  පැවසීය.

ඉන්දියාවට අපේ දත්ත සොරකම් කර ඒ හරහා අපව පාලනයට ලක් කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ලංකාවේ ආණ්ඩුව පනින රිළවුන්ට ඉණිමං බඳිනවාසේ අපේ ජෛවමිතික දත්ත සහිත හැඳුනුම්පත ගැන තීරණ ගැනීමේ බලය ඉන්දියාවට පූජා කර ඇතැයිද එහිදී මුදලිගේ මහතා චෝදනා කළේය.

2012 වසරේ සිට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් සඳහා ව්‍යපෘතියක් ආරම්භ කර ඒ සදහා මේ වනවිට රුපියල් කොටි 560 ක් වියදම් කර ඊට අවශ්‍ය මෘදුකාංග සියල්ල වර්ධනය කර අවසන්ව ඇතැයිද මුදලිගේ මහතා කීය.

එහෙත් තවත් රුපියල් කෝටි 60 කින් පමණ එය අවසන් කිරීමට පුළුවන්කම තිබියදී ලංකාවේ රජයේ ඒ උත්සාහය හා ඊට වැයකළ ජනතා මුදල් පසෙකට දමා ජෛවමිතික හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද සැකසීම ඉන්දියාවට ලබාදීමට 2021 දී ගෝඨාභය රාජපක්ෂ පියවර ගත් බවද මුදලිගේ මහතා කීය

එම ටෙන්ඩරය ලංකාවේ රජය කැදවුවද ඒ සඳහා ඉල්ලුම්කළ සමාගම් සුදුසුකම් සැපිරීම තහවුරු කිරීමට අසමත්වීම නිසා එම ප්‍රයත්නය තාවකාලිකව වැලකුණ බවද පසුව 2023දී රනිල් වික්‍රමසිංහ රජය ටෙන්ඩර් කැඳවීමක් කර සුරා බදු වංචාවකට සම්බන්ධ නිසා අසාදු ලේඛනගත කරනු ලැබූ මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් ,සමාගමට එය ලබාදීමට උත්සහ කළ බවද මුදලිගේ මහතා සදහන් කළේය

අනුර දිසානායක මහතා ජනාධිපති වු පසුව 2025 ජනවාරි මාසයේදී ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කළා අතර ඊට අනුව ටෙන්ඩර් කැඳවීමේ බලයත් ඉන්දියාවට දුන් බවද හෙතෙම කීය.

එම බරපතළ වැරැද්ද නිසා මේ සම්බන්ධ කිසිම බලපෑමක් කිරීමට ලංකාවට හැකියාවක් නැති වූ බවද ඹහු පැවසීය.

මුලදී ඒ සඳහා ඉන්දියානු සමාගම් පහක් ලියාපදිංචි වී තිබූ නමුත් 2026 මාර්තු වනවිට හයවන සමාගමක් ලියාපදිංචියට ඇතුළු වී තිබූ අතර එයද ලංකාවේ අසාදු ලේඛනගත සමාගමක් වන මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්‍ටර්ස් සමාගම බවද මුදලිගේ මහතා පැවසීය

ඒ සමාගම අසාදු ලේඛනයෙන් ඉවත් කළාද? ඉවත් කලේ කුමන හේතු මතද? එසේ නැතිනම් ලංකාවේ අසාදු ලේඛනගත සමාගමකට ලංකාවේ රාජ්‍ය ව්‍යාපෘතියක් පවරන්න ඉන්දියාවට ඇති බලය මොකක්ද? ටෙන්ඩර් කැඳවීමේ බලය ඉන්දියාවට දුන්නේ ඇයිද යන ප්‍රශ්ණවලට ජනාධිපතිවරයා වහාම පැහැදිලි කිරීමක් කළ යුතු බවද වසන්ත මුදලිගේ මහතා කීය