(  ප්‍රදීප් කුමාර කුලරත්න)


වයස මාසක් පමණ වු බිළිඳෙකු අලුයම අවදි වී සිය මවගෙන් කිරි බී යළි නිදා ගැනීමෙන්  පැයකට පමණ පසුව  මියගොස් ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාගම්මන රන්දිය උයන පිස්කල් වත්තේ තිස් හය හැවිරිදි  සිව් දරු මවකගේ මාසයක් වයසැති බිළිදෙකු බව පොලිසිය කියයි .

මෙම බිළිදා මීට මාසයකට පෙර කළුබෝවිල ශික්ෂණ රෝහලේදී උපත ලබා ඇති අතර ඊට අදාළ උප්පැන්න සහතිකය හෝ මෙතෙක් ලියාපදිංචි වී නොමැති බව පැවසේ.

මෙම බිලිදාගේ මව පියා වැඩිමහල් සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා සමග නිවසේ වාසය කර ඇති අතර අද (16) දා අලුයම  03 පමණ මෙම බිලිදා   අවදි වී හඬා වැටෙන අවස්ථාවේදී මව කිරි දී ගුඩුස් යවා නැවත නිදි කරවා පැයකට පමණ  යළි බිළිදා දෙස බැලීමේදී ඔහුගේ නාසයෙන් ලේ ගලා ගොස් තිබෙනු දැක භියවී ප්‍රතිකාර සඳහා ඔහුව හෝමාගම මූලික රෝහලට රැගෙන ගොස් තිබේ .

එහිදී වෛද්‍යවරු බිළිදා පරීක්ෂා කොට පවසා ඇත්තේ බිළිදා මිය ගොස් ඇති බවයි.ඒ අනුව බිළිඳු මළ සිරුර පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය  හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදු කරන ලදී.

එහිදී  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීනී ධම්මි ලුවිශ් හේවා මහත්මිය විසින්  ඉදිරිපත් කර තිබූ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට හා ඉදිරිපත් වූ සාක්ෂි පිළිබඳව සලකා බැලූ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා  මරණයට හේතුව නොදක්වා සිරුරේ කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකොට විවෘත තීන්දුවක් ලබාදීමට පියවර ගත්තේය.

බිළිදු මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කරන අවස්ථාවේදී බිළිදාගේ ආමාශයේ මවු කිරි රැදී තිබීම  විවෘත තීන්දුවක් ලබා දීමට හේතුවක් වූ බව හදිසි මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් කීය.