(අංජුල මහික වීරරත්න)

මහනුවර ජාතික රෝහලට රුපියල් මිලියන 600 ක් වටිනා අධි තාක්ෂණික නවීන ප්‍රතිකාර යන්ත්‍ර දෙකක් රජය ලබා දී තිබේ. 

Extracorporeal Shock Wave Lithotripsy (ESWL) යන්ත්‍රය සහ Digital Subtraction Angiography යන්ත්‍ර දෙක මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නැංවීමේ සඳහා ක්‍රියාත්මක කරනු ලබන සැළසුම් සහගත වැඩපිළිවෙල යටතේ මෙම යන්ත්‍ර ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රුපියල් මිලියන 200 ක වටිනාකමකින් යුත්  Extracorporeal Shock Wave Lithotripsy (ESWL) යන්ත්‍රය මූත්‍රා පද්ධතිය ආශ්‍රිතව ඇතිවන අශ්ම (ගල්) ශල්‍යකර්මයක් හෝ වෙනත් ආවේශන ප්‍රතිකාර ක්‍රමයක් සිදු නොකොට  අති ධ්වනි තරංග භාවිතා කරමින් කුඩා කැබලි වලට කුඩු කර මූත්‍රා සමඟ පිටවීමට සැලැස්වීමේ ප්‍රතිකාර කටයුතු  සඳහා යොදා ගැනේ.  

වසර 03 කට අධික කාලයක් අක්‍රීයව පැවැති DSA යන්ත්‍රය වෙනුවට  නවින ඩිජිටල් තාක්ෂණයෙන් යුත් රුපියල් මිලියන 400 ක් වටිනා  නව Digital Subtraction Angiography යන්ත්‍රය රුධිරවාහිනී සහ සනාල රෝග, පිළිකා ප්‍රමුඛ රෝග රැසකට ප්‍රතිකාර කිරීමට යොදා ගැනේ.

මෙම නවීන යන්ත්‍රය මගින් විකිරණශීලී රූපකරණය (Radiographic imaging) භාවිතා කරමින් රෝග තත්ත්වයන් පවතින ස්ථානයන් ඉතාමත් නිවැරදිව හඳුනාගත හැකි අතර, දේහයේ කුඩා සිදුරක් මඟින් ඇතුළත් කරන කැතීටරයක් (නළයක්) ආධාරයෙන් එම ස්ථානයටම ළඟාවී ප්‍රතිකාර සිදු කිරීම කළ හැක.