(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකුටත් මේ වර්ෂයේදීත් විමධ්‍යගත   මුදල් වෙන් කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

දැන් මුදල් වෙන් කෙරෙන්නේ දිස්ත්‍රික් කමිටුවලට බවද ඔහු සඳහන් කළේය.

රණතුංග මහතා මෙසේ පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

මන්ත්‍රීවරුන්ට වඩා පොදුවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙස පසුගිය කාලේ ජනතාවගේ ඉල්ලීම වූ බවත් දිස්ත්‍රික් ණය කමිටුවලට   වෙන් කරන මුදල් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලට යොමු කෙරෙන බවත් ඔහු  ප්‍රකාශ කළේය

ඒ මුදල් අනතුරුව ප්‍රාදේශීය කමිටුව හරහා ග්‍රාමීය කමිටුවලට යන බවද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රණතුංග මහතා මෙසේද කීවේය.

නැත්නම් මන්ත්‍රීවරු තමන්ට ඕන විදියට තමන්ට හිතවත් තමන්ට ඡන්දය දුන්න අයගේ  පාරවල් වලට විතරක් මුදල් වෙන් කරනවා. එතකොට පොදු සංවර්ධනයක් වෙන්නේ නැහැ. ඒකයි දිස්ත්‍රික්  සංවර්ධන කමිටුවට මුදල් වෙන් කරලා තියෙන්නේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

මම මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 35ක් මම ඉන්නවා. හැමදාම මේක අපිට  හම්බවුණා.  ඔබතුමා මේක නැති කිරීම  අනුමත කරනවද.

කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතා

නැහැ අවුරුදු තුනක් තිස්සේ දෙන්නේ නැහැ.

ප්‍රසන්න රණතුංග මහතා;

සංවර්ධන කමිටුවලට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලට  මෙතන ඉන්න සියලු දෙනාටම ආරාධනා කරනවා.