(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සහ හිංදු ආගමික නායකයන් ඇතුළු පිරිසක් මුලතිව් කුරුඳුමලේ විහාර භූමියේ පොංගල් උත්සවයක් පැවැත්වීමට ගත් උත්සහයක් මුලතිව් පොලිස් නිලධාරීන් වැළැක්වීමත් සමඟ දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

විහාර භූමියේ කුරුන්දි විහාරාධිකාරී ගල්ගමුවේ සන්තබෝධි හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ ජනතාව  බුද්ධවන්දනාවක නිරතව සිටියදී එකවර එම ස්ථානයට පැමිණ ඇති පාර්ලිමේන්තුමන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පුරාවිද්‍යා නිලධාරීන්ගේද විරෝධය නොසලකා විහාර භූමියේ ලිප්ගිනි දල්වා පොංගල් උත්සවයක් පැවැත්වීමට උත්සහ කළ අතර එහිදී බෞද්ධ පිරිස හා මන්ත්‍රීවරයා සමඟ පැමිණි පිරිස අතර ගැටුමක් හටගැනීමට ඉඩකඩ ඇති බැවින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට ඉවත්වන ලෙස පොලිසිය දැණුම්දී තිබේ.

එම අවස්ථාවේ විරෝධය පලකරමින් සෙල්වරාසා ගජෙන්ද්‍රන් මන්ත්‍රීවරයා පුරාවිද්‍යා නිලධාරීන්ට බැණවදිමින් තමන් ඇතුළු පිරිස කුරුන්දි විහාරයේ සංරක්ෂණය සිදුකරන ස්ථූපය අසල පොංගල් උත්සවය පවත්වන බවත් එයට බාධානොකර ඉවත්වන ලෙසට දැණුම්දී ඇත.

පුරාවිද්‍යා නිලධාරීන් පවසා ඇත්තේ පුරාවිද්‍යාවට අයත් ස්මාරක සහිත ස්ථානයක ලිප්බැඳ ගිනි තැබීම් සිදුනොකරන ලෙසත් එය වෙනත් ස්ථානයක පවත්වන ලෙසත්ය.

පැමිණි පිරිස විසින් පුරාවිද්‍යා නිලධාරීන්ට හා විහාරස්ථානයේ රැදී සිටි පොලිස් නිලධාරීන්ට විරෝධය පලකිරීමත් සමඟ දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්වයක් උද්ගතවූ අතර සිද්ධිය සමථයකට පත්කිරීම සඳහා පොලිසිය පොලිස් කැරළි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකාය අදාල ස්ථානය වෙත කැඳවා තිබිණ.

සිද්ධියත් සමඟ අදාල ස්ථානයට පැමිණි කිලිනොච්චිය , මුලතිව් දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති එච්.සමුද්‍රජීව මහතා පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසට පවසා ඇත්තේ මෙලෙස පැවැත්වීමට නියමිත පොංගල් උත්සවය පිළිබඳ කුරුන්දි විහාරයේ විහාරාධිකාරි හිමියන් වන ගල්ගමුවේ සන්තබෝධි හිමියන් පසුගිය 11 වැනි දින පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බවත් ඒ පිළිබඳ තම නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළ බවත්ය.

පුරාවිද්‍යා භූමියක ගිනිතැබීම් සිදුනොකරන ලෙසත් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකොට පැමිණි පිරිසට නීතිමය පියවර ගන්නා බවත් නොසන්සුන්ව හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවටගන්නා බවත් ප්‍රකාශ කළ අතර එහිදී පැමිණි පිරිස විරෝධය දක්වා එම ස්ථානයෙන් ඉවත්වීමට කටයුතු කළේය.

මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පසුව කුරුන්දි පුරාවිද්‍යා ස්ථූපය අසල පොල්ගසා වන්දනාමාන කිරීමෙන් අනතුරු විසිරගියහ.

මෙම අවස්ථාවට ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සිවමෝහන් හා හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එස්.රවිහරන් යන මහත්වරුන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.