(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුෂ් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්  කළ පුද්ගලයකු විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ  උණ්ඩ සමග අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන්කරයි.

එම සැකකරු සමග මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල ගිනි අවියක්ද ජීව උණ්ඩ තිහක් සහ කුෂ් මත්ද්‍රව‍ය ග්‍රෑම් 8ක් මෙන්ම ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 98000/= ක මුදලක් පොලිස් බාරයට ගෙන ඇත.

පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වාද්දුව වස්කඩුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී සොයාගත් ගිනි අවිය වෙනත් පුද්ගලයකුගේ නමින් ලියාපදිංචි කර තිබූ එකක් බව පොලිසිය කියයි.

සැකකරුට මෙම ගිනි අවිය ලද ආකාරයමෙන්ම එම ගිනි අවිය අපරාධ සඳහා යොදාගෙන ඇද්ද යන්න සොයා විමර්ශන සිදු කරන අතර රජයේ රස පරික්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.