(අංජුල මහික වීරරත්න)

මෙරට මද්‍යසාර පාලනය සඳහා වන ආයෝජන වාර්තාව සහ මද්‍යසාර භාවිතය නිසා සිදුවන හානිය තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන උපාය මාර්ග ඇතුළත් තාක්ෂණික උපදේශන ගොනුවක් එළිදක්වා තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් මහතාගේ සහභාගීත්වයෙන්  කොළඹ NH Collection හෝටලයේ දී මෙම එළිදැක්වීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ  මද්‍යසාර භාවිතය පාලනය කිරීම, මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සහ ආර්ථිකමය බලපෑම් අවම කිරීම අරමුණු කරගත් සුවිශේෂී ජාතික වැඩසටහනක් වූ මෙම වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), මද්‍යසාර වැළැක්වීම මඟින් මානව සහ සමාජ සංවර්ධනය ඇති කිරීම සඳහා කැප වූ ලොව විශාලතම ස්වාධීන ගෝලීය සංවිධානය වන Movendi International සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ බෝනොවන රෝග පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර්-නියෝජිත කාර්ය සාධක බලකාය (UN Interagency Task Force on NCDs) යන ආයතනවල සහයෝගයෙන් සංවිධානය කරන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කීවේ මෙය තාක්ෂණික ලේඛනයක් හෝ වාර්තාවක් එළිදැක්වීමක් පමණක් නොවන බවත් ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සඳහා නව ප්‍රමිතියක් ස්ථාපිත කරන වැදගත් පියවරක් බවයි.