(සුජිත් හේවාජුලිගේ)

හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කණ්ඩායම් දෙකේ වාර්තා තවමත් ලැබී නැතැයි වාර්තාවේ.

මෙසේ ලැබී නැතැයි පැවසෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසන් වාර්තාව සහ ජාතික අධ්‍යාපන ආයතනයේ කමිටුව පැවැත්වූ පරීක්ෂණයේ මූලික විමර්ශන වාර්තාවයි.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් පත් කෙරැණු කමිටුවේ අතුරු වාර්තාව පමණක් මීට පෙර ලැබී තිබිණ.

මේ සම්බන්ධයෙන් අප අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම වාර්තා දෙක තවමත් ලැබී නොමැති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සිද්ධියේ අපරාධමය වරදක් සිදුවී ඇත්දැයි ගැඹුරින් සොයා බලන හෙයින් ඒ සඳහා යම් කාලයක් ගත විය හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මොඩියුල සම්බන්ධයෙන් පැවති යම් යම් අඩුපාඩු නිවැරදි කරගෙන යන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.