(විනීතා එම් ගමගේ)

වැලි, කළුගල්, පස් කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා  මාර්ගගත ක්‍රමයක් (Online) මාස තුනක් තුළ සකස් නොකළහොත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම කාර්යංශයේ ඉහළ නිලධාරින්ට අද  (06) දැනුම් දුන්නේය. 

වැලි, කළුගල්, හා පස් කැනීම් සහ ප්‍රවාහණ බලපත් නිකුත් කිරීමේ දී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දැනට අනුගමනය කරන ක්‍රමය අනුව මහජනතාවට ඒ සඳහා ප්‍රධාන කාර්යාලයට මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවලට ද පැමිණීමට සිදුවී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා එබැවින් එම කාර්යාවල දිනපතා විශාල තදබදයක් පවතින අතර ජනතාවට නිකරුණේ රස්තියාදුවීමට සිදු වීම මෙන්ම බලපත් ලබා දීමේ දී ප්‍රමාදයක් හා දූෂණ හා අක්‍රමිකතා ද සිදුවන බව අනාවරණය වී ඇතැයි ද පෙන්වා දුන්නේය.

මේ නිසා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවස්ථා කිහිපයක දී ඊට විකල්පයක් ලෙස මාර්ගගත ක්‍රමයක් සකස් කරන ලෙස භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයට දැනුම් දුන්නද මේ වනතෙක් එම කටයුතු සිදු කර නොමැතිවීම පිළිබඳ තම අප්‍රසාදය ද පළ කළේය. 

අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය අද  (06) පරිසර අමාත්‍යංශයට කැඳවූ ලැබූ අවස්ථාවේ දීය. 

වැලි, කළුගල්, හා පස් කැනීම් සහ ප්‍රවාහණ බලපත් නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයක් සැකසීමට උපරිම වශයෙන් මාස තුනක් ලබා දෙන බවත් එම කාලය තුළ එම වැඩ පිළිවෙළ අවසන් නොකළහොත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය අනිවාර්යයෙන්ම විසුරුවා හැරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහි දී දැනුම් දුන්නේය. 

එමෙන්ම එම වැඩපිළිවෙළේ ප්‍රගතිය මාස් පතා වාර්තාවකින් තමන්ට ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

දැනට වාර්ෂිකව වැලි, කළුගල්, හා පස් කැණීම් හා ප්‍රවාහණ බලපත් ලක්ෂ 10ක් පමණ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කරනු ලබයි.  පසුගිය වසරේ නිකුත් කරන ලද ප්‍රවාහණ බලපත් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇති බව අනාවරණය විය.