(අංජුල මහික වීරරත්න)

භාෂා උරුමයන් සුරක්ෂිත කිරීම සංස්කෘතික වගකීමක් පමණක් නොව එය ලෝකයේ පවතින විවිධත්වය රැකගැනීම සඳහා වූ පොදු කැපවීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ අද (13) පැවැති 'ජාත්‍යන්තර මව් භාෂා දින' සැමරුම් උළෙලට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය. 

බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා බාලදක්ෂ සහ බාලදක්ෂිකා සංගම්වල සහයෝගය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර  විවිධ හඬවල්, පොදු මනුෂ්‍යත්වය' යන්න මෙවර තේමාවයි. 

මෙහිදී ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වන ලද චිත්‍ර, රචනා සහ කෙටි වීඩියෝ නිර්මාණ තරගවලින් ජයග්‍රහණය කළ පාසල් දරුවන්ට සහතික පත්‍ර සහ සම්මාන පිරිනැමීම ද අග්‍රාමාත්‍යවරිය අතින් සිදු කෙරිණ. 

"ජාත්‍යන්තර මව් භාෂා දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා බංග්ලාදේශය ගත් මූලිකත්වය අගය කරනවා.  එය ජාතික සැමරුමක සිට ගෝලීය ව්‍යාපාරයක් දක්වා වර්තමානය වන විට  පරිවර්තනය වී තිබෙනවා.  

 ශ්‍රී ලංකාවේ පවතින බහුවිධ භාෂාමය උරුමය කළමනාකරණය කළ යුතු අභියෝගයක් නොව, අගය කළ යුතු ශක්තියක් බව අපි අවබෝධ කර ගතයුතුයි. 

භාෂා අයිතීන් සුරක්ෂිත කිරීම හරහා සමාජ සහජීවනය ගොඩනැගෙනවා වගේම බහුභාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම මගින් අනාගත පරපුර බල ගැන්විය යුතුයි" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.