( තිලකරත්න දිසානායක)

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් අස්ගිරිය  -  වල්පොල මාර්ගයේදී  සිදුව ඇති රිය අනතුරකින් වයස අවුරුදු 6 ක දියණිය සහ 41 හැවිරිදි පියා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගම්පහ රථවාහන අංශය සදහන් කරයි.  

කිරිදිවිට දෙස සිට උඩුගම්පොල දෙසට යතුරු පැදියකින් පියා සහ දියණිය ගමන් ගනිමින් සිටියදී විරුද්ධ දිසාවෙන් පැමිණි බවුසරයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. 

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගම්පහ,  උග්ගල්බඩ , ජයන්තිපුර පදිංචිව සිටි බාලසූරිය ලේකම්ලාගේ  තුසිත අනුරුද්ධ බාලසූරිය (41) නමැති පියා සහ බාලසූරිය ලේකම්ලාගේ  තෙනුරි දහම්සා (6) නමැති දියණියයි.

මියගිය දෙදෙනාගේ මෘත දේහ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර අද (6) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. 

අනතුර සම්බන්ධයෙන් මීරිගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන බව්සරයේ රියදුරු අත් අඩංගුවට ගත් බවත් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන බවත් පොලීසිය පවසයි.