(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
 
බාල වයස්කාර දරුවකු නීති විරෝධී ලෙස මුහුදු රැකියාව සඳහා රැගෙන ගොස් ඔහු අතින් සිදු  වු  සුළු අඩු පාඩුවක් හේතුවෙන් එම දරුවාට අතින් පයින් හා දැල් ආම්පන්න වලින් පහර දී දින 45ක් තිස්සේ  තිස්සේ මහ මුහුද මැදදී අමානුෂික ලෙස වද හිංසාවන්ට ලක් කළ බව කියන මිරිස්සේ බහු දින යාත්‍රාවක ධීවරයින් සිව් දෙනෙකු හා ඊට ආධාර අනුබල දීමේ වරදට එම යාත්‍රාවේ හිමිකරු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කොටවිල පොලීසිය පවසයි.
 
දැල් වලින් අල්ලා ගන්නා ලද  මාළු බෝට්ටුවට දමන අවස්ථාවේ දී එම දරුවා අතින් බලයා මාලුවෙකු මුහුදට වැටුණැයි උරණ වීමත් සමඟ පහර දී වද හිංසා පමුණුවා ඇති බව කියති.
 
ඊට අමතරව වැඩිපුර ආහාරපාන ලබාගන්නා බව කියමින් ද පහර දී තිබෙන බව පොලීසිය කියයි.
බඩගිනි  අවස්ථාවක  බිස්කට්  කෑමට ගත් අවස්ථාවේ එය උඳුරාගෙන කට දෙපැත්තෙන් ඇද තිබෙන බවත් ඒ බව තහවුරු කෙරෙන තුවාල කැලැල් කට දෙපැත්තේ තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
 
ඊට අමතරව මාලු හා දැල් ආම්පන්න වලින් පහර දීම නිසා එම දරුවාගේ ශරීරය පුරා තුවාල කැළැල් දැක ගත හැකි බවද පොලීසි කීවේය.
 
මිරිස්සේ ධීවර ව්‍යාපාරිකයෙකුට අයත් බහු දින යාත්‍රාවෙන් එම දරුවා රැකියාව සදහා මුහුදු ගොස් ඇත්තේ ඉකුත් ජුනි මස 28 වැනි දින මිරිස්ස ධීවර වරායෙනි.
 
එහිදී කූඨ ලෙස වයස වෙනස් කරන ලද හැදුනුම්පත් පිටපතක් වරාය නිලධාරීන්ට පෙන්වා තිබෙන අතර බැලු බැල්මට ඒ බව පහසුවෙන් හදුනා ගත හැකි බව පොලීසිය කියයි.
 
කූඨ ලේඛන සාදා ඉදිරිපත් කිරිමේ වරද සම්බන්ධයෙන් ද බහුදින යාත්‍රාවේ හිමිකරු ඇතුළු සෙසු ධීවරයින්ට එරෙහිව වෙනමම පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලීසිය සඳහන් කරයි.
 
ඊට අමතරව බාල වයස්කාර දරුවකුට රැකියාව සදහා මුහුදු යාමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් ද ධීවර අමාත්‍යංශ මට්ටමින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
 
දින 45 ක පමණ කාලයක් මුහුද මැදදී විවිධ වද හිංසාවන්ට ලක්ව ඇති දරුවා සහිත බහුදින යාත්‍රාව ඉකුත් 12 වැනි දින ගොඩබිමට පැමිණ තිබේ.
 
ඒ වන විට දැඩි ලෙස ශාරීරික හා මානසික පීඩනයට ලක්ව සිටි එම දරුවා මව විසින් මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
 
 
පහර දීමෙන් දරුවාගේ කොදුඇට පෙළට ද හානි සිදු වී තිබෙන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
 
මාතර මහ රෝහලේ 03 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන දරුවාගේ සුව දුක් බැලීමට ධීවර වරාය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, කාන්තා හා ළමා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්,කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපති එච්.කේ.කමල් යන මහත්වරු ඇතුළු පිරිසක් අද (16) එම රෝහල වෙත පැමිණියේය.
අනතුරුව  එම පිරිස බණ්ඩරමුල්ලේ පිහිටි දරුවා පදිංචි නිවසට ද පැමිණියේය.
 
ලෑලි ගසන ලද නිවස වෙනුවට නව නිවසක් ඉදි කර දීමටත් අඩු ආදායම් ලාභීන්ට රජයේ රැකියා ලබා දීමේ වැඩසටහන යටතේ එම පවුලේ සාමාජිකයෙකුට රජයේ රැකියාවක් ලබා දීමටත් එම මහත්වරු එහිදී එකඟතාවය පළ කළේය.
 
දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවා මෙම සිද්ධියට ලක්ව තිබෙන අතර ඔහුගේ පියා කුඩා කළ මව අතහැර ගොස් තිබෙන බව ද කියති.
 
පවුලේ ආර්ථික අපහසුතා හේතුවෙන් දරුවා මුහුදු රැකියාව සඳහා ගොස් තිබෙන බව ප්‍රදේශවාසීන් කියයි.
 
සැකකරුවන් පස් දෙනාම අද  (16) සවස මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.