IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘බය නැතිව ඡන්දය දිය හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා’

(නිමල කොඩිතුවක්කු)
 

ජනතාවට බය නැතුව තමන්ගේ ඡන්දය ලබා දිය හැකි, ජනතාවගෙන් ලබාගත් ඡන්දයට වගකිවහැකි අපේක්‍ෂකයෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද(16) පැවැසීය.
 
රට ගොඩ නැගීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොඩ නගා ඇති ජාතික ජන බලවේගය වටා එක්වීම හැර ජනතාවට වෙන විකල්පයක් නොමැති බවත්  ඔහු සදහන් කළේය.
 
බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන කාර්්‍යාලයේ අද(16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.
 
 “ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් වන්නේ රනිල්ද, සජිත්ද, කරූද කියලා තීරණයක් ගන්න බැරුව අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරගන්න බැරිව එක්සත් ජාතික පක්ෂය  අර්බුදයක ඉන්නවා. 
 
2015දී මහින්ද රාජපක්‍ෂ කඳවුර පරාජය කළ බලවේග අතර කතාබහක් තිබෙනවා, ගෝඨාභය රාජපක්‍ෂ පැමිණීමත් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරකට පත්වෙන නිසාත් ඒකාධිපතිත්වයකට රට ගමන් කළ හැකි නිසාත් එයට එරෙහිව එක පෙරමුණක් ලෙස පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියලා. අපිත් හිතනවා මහින්ද රාජපක්‍ෂ කඳවුරේ දේශපාලන සංස්කෘතිය පරාජය කළ යුතුයි කියලා.


2015දී එම කඳවුරට එරෙහිව ඡන්ද ලක්‍ෂ 62ක් ලබාදුන්නා. එම ඡන්දවලින් බලයට පැමිණි වර්තමාන පාලනය එම දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළේ නැහැ. එයම පවත්වාගෙන ගියා. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධව අල්ලස් ගත් රවී කරුණානායකට ටික කාලයකින් නැවතත් එම ඇමතිකම ලබාදුන්නා. රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයත් මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාත් පැවති දේශපාලන සංස්කෘතිය යහපත් තත්වයට ගෙන ඒමට අසමත් වුණා. 
 
රාජපක්‍ෂ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගයට පමණයි. රාජපක්‍ෂ දේශපාලනයට එරෙහිව තිබෙන එකම මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයත් එයින් ඉදිරිපත් වන අපේක්‍ෂකයා ප‍්‍රමුඛ කඳවුරත් පමණයි. ඒ වෙනුවට වෙනත් පුද්ගලයින් යෝජනා කිරීම හෝ නැවත 2015ට යෑම මේ මොහොතේ යථාර්ථය නෙමෙයි.
 
රටට අලූත් ආදර්ශයන් පෙන්වපු, සංවිධාන විනයක් සහිත ව්‍යාපාර විශාල ප‍්‍රමාණයක් හා එක්වුණු ජනතා මධ්‍යස්ථානයක් දැන් අපි ගොඩනගා තිබෙනවා. එම මධ්‍යස්ථානය වටා එක්වීම හැර ජනතාවට වෙන විකල්පයක් නැහැ. එම මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයයි. ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා 18වැනිදා අපි රටට හඳුන්වා දෙනවා. 
 
අපේක්‍ෂකයන් කිහිප දෙනෙක් හිටියට දැන් අපේ රටේ තිබෙන්නේ දේශපාලන කඳවුරු දෙකක් පමණයි. රට ගොඩනගන්න සූදානම්. ජනතාවගේ ආශිර්වාදය සහිත ජනතාව බලාපොරොත්තු වූ ජාතික ජන බලවේගය නියෝජනය කරන අපේක්‍ෂකයා සහිත කඳවුර සහ රට ණය කරපු රට විනාශ කරපු රටේ සම්පත් කොල්ලකාපු අනෙක් කඳවුර එම දේශපාලන කඳවුරු දෙකයි. ජනතාවට තෝර ගන්න තිබෙන්නේ රට හදන කඳවුර හෝ රට විනාශ කරපු කඳවුරයි. 
 
අපි සමග ඉන්නේ දේශපාලනය පිළිබඳ හොඳ කියවීමක් තිබෙන, දර්ශනයක් සහිත දැක්මක් සහිත ජනතාවක් නියෝජනය කරන පිරිසක්. එහි මංගල රැලිය තමයි 18වැනිදා ගෝල්ෆේස් පිටියේදී පවත්වන්නේ. එය අපේ රටේ දේශපාලනයේ අලූත් හැරවුම් ලක්‍ෂයක් වෙනවා. අපේ රටට අලූත් ගමනක් නිර්මාණය කරන දිනයක් වෙනවා. 
 
අපි ජනතාවගෙන් ඉල්ලනවා රට රකින, රට හදන බලවේගය සමඟ අත්වැල් බැඳගන්න කියලා. ප‍්‍රගතිශීලී කතා කියමින් ජනතාව මුලා කරන ප‍්‍රකාශවලට ගොදුරු වෙන්න එපා කියලා අපි ඔවුන්ගෙන් ඉල්ලනවා” යැයිද ටිල්වින් සිල්වා මහතා එහිදී පැවැසීය.
 
මෙම අවස්ථාව සදහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල මහතාද සහභාගී විය.



අදහස් (0)

‘බය නැතිව ඡන්දය දිය හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site