(චන්ද්‍රසේන ගමගේ)

අඟුණකොළපෑලස්ස බන්ධනාගාරයේ නියාමකයන් දෙදෙනකුට පහර දුන් බවට චෝදනා ලැබූ ප්‍රදේශීය සභා මන්ත්‍රී අමිල කුමාරසිංහට හා දුලන්ත රාජපක්ෂට අඟුණකොළපෑලැස්ස බන්ධානාගාරය තුළදී ඉතා අමාණුෂික ලෙස පහර දී ඇතැයි ඔවුන් ගේ ඥාතීහු පවසති.

බන්ධනාගාර නිළධාරීන්ගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා තිබූ දුලන්ත රාජපක්ෂ මාතර රෝහලට ඇතුළත් කොට තිබූ අතර අසාධ්‍ය තත්වයේ පසු වූ ඔහු අද(10) දහවල් කරාපිටිය රෝහල වෙත මාරු කොට යවා තිබේ.

රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ පහර කෑමට ලක්වූ දුලන්ත රාජපක්ෂ ගේ හිසට දරුණු ලෙස තුවාල සිදුව ඇති බවයි.

බන්ධනාගාර ගත වූ අමිල කුමාරසිංහට ද බන්ධනාගාරය තුළදී  ප්‍රහාරයට ලක් වුවද ඔහු රෝහල් ගත කොට නැත.

බන්ධනාගාර නියාමකයන් දෙදෙනා අඟුණකොළපෑලස්ස නගරයේ සැරි සරත්දී අමිල කුමාරසිංහ සමඟ පැමිණි කන්ඩායමක් සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බවත් එම තොරතුරුවලින් අනාවරණය වෙයි.

එම ගැටුමෙන් සුළු තුවාල ලැබූ බන්ධනාගාර නියාමකයන් දෙදෙනා තංගල්ල මූලික රෝහලේදී ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

එම සිද්ධියට අදාළව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා හා දුලන්ත රාජපක්ෂ  දින අඟුණකොළපෑලැස්ස පොලීසියට ඉදිරිපත් වී තිබේ.

ඉන් අනතුරුව ඔවුන් අත් අඩංගුවට ගත් පොලීසිය සැකකරුවන් දෙදෙනා අඟුණකොළපෑලස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.

මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය විසින් සැක කරුවන් දෙදෙනා ලබන 22 දින දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කොට තිබුණි.

සැකකරුවන් දෙදෙනා මාතර බන්ධනාගාරයට රැගෙන යන අතර තුරදී ඔවුන් අඟුණකොළපෑලස්ස බන්ධනාගාරයට රැගෙන ගොස් තිබූ බවත් ඊයේ රාත්‍රී ප්‍රදේශයට විදුලි බලය ඇනහිටීමත් සමඟ  සැකකරුවන් දෙදෙනාට පහර දී ඇති බව දැන්ගන්නට ඇතැයි පහරකෑමට ලක්වූවන් ගේ ඥාතීහු පවසති.