(ප්‍රසාද් රුක්මල් )

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඊයේ (8) අලුයම වහලයෙන් බැස ඇතුළු වී ඇති සොරෙකු කාර්යාලයයේ ලිපිගොනු සියල්ල අවුස්සා දමා එහි ආපනශාලාට ගොස් කෝපි සාදාගෙන පානය කර යෝගට් කා පලාගොස් ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

මෙම කාර්යාලයය රාත්‍රි වසා දමා තිබි ඇති අතර එහි රාත්‍රි මුරකරුවෙකු ද සේවයේ  නිරතව සිට ඇති බවත් පොලිසිය කීය.

මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල  වේල්ලට  නැග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ  වහලයෙන් බැස ගොඩනැගිල්ලේ වසා නොතිබුණු ජනේලයකින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළට ඇතුළු වී ඇති සොරුන් කාර්යාලයේ තිබු ලිපිගොනු සියල්ල අවස්සා දමා ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ආපනශාලාවට ගොස් එහි තිබු යෝගට් කීපයක් ද කා කෝපි සාදාගෙන පානය කර  පසුව පලාගොස් ඇතැයි පොලිසිය සදහන් කළේය.

ඔවුන් යෝගට් කා  ඒ අසල හිස්  යෝගට් කප් කීපයක් බිම දමාගොස් තිබිනැයි පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බණ්ඩාරවෙල පොලිසියට පැමිණිළි කළ බවත් පොලිසිය පැවසීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල වටිනා ලැප්ටොප් යන්ත්‍ර ද තිබී ඇති අතර, සොරුන් එම යන්ත්‍ර සොරාගෙන නොමැති බවත්  දැනට සිදුකරගෙන යන විමර්ශන කටයුතු වලදී අනාවරණය විනැයි පොලිසිය පවසයි .

මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහි වූවෙකු විසින් මෙසේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුළු වී දේපල මුදල් සොරා ගැනිමට උත්සහ කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි .

ඌවපලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර් පී අමරසිංහ පොලිස් අධිකාරි 1 රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතා ඇතුළු නිළධාරින් අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට වැඩිදුර පරීක්ෂණ පවත්වති .