(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල සහ අනුබද්ධ විශ්වවිද්‍යාල ගුණාත්මක තත්වයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා වෙනම ප්‍රතිපත්ති මාලාවක් සහ  වැඩපිළිවෙළක්   සකස් කිරීමට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදන දෙකක් නිකුත් කිරීමට නියමිතව ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

මේ අනුව රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල සහ අනුබද්ධ විශ්වවිද්‍යාල  ලියාපදිංචි කිරීම සහ නිසි ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට මෙම  ගැසට් නිවේදන මගින්  බලය හිමිවනු ඇත.

රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල සහ අනුබද්ධ විශ්වවිද්‍යාලවල  උපාධි පාඨමාලා සඳහා අය කෙරෙන ගාස්තු සම්බන්ධයෙන්ද මෙහිදී කිසියම්  නියාමනයක් කෙරෙන බව  නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දැනට රට පුරා රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල 600ක් පමණ පවතින අතර ඉන් රජයේ ලියා පදිංචි කර ඇත්තේ විශ්වවිද්‍යාල 28ක් පමණක් බව මධුර සෙනවිරත්න මහතා පැවසීය

මේ අතර ඇතැම් රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල සහ අනුබද්ධ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අමාත්‍යාංශයට පැමිණිලි ගණනාවක් ලැබී ඇත.  මේ අනුව  එම විශ්ව විද්‍යාල ගුණාත්මක තත්වයෙන් ඉහළ නැංවීමේ  අරමුණින්  මෙම තීරණය ගෙන ඇත.