(අංජුල මහික වීරරත්න)

‘ක්ලීන් ශ්‍රී ලංකා’ සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ප්‍රජා ඵලදායිතා  ආදර්ශ ගම්මාන 322ක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට  සමගාමීව සදාචාරාත්මක, සුපිළිපන් ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් සමාජීය, පාරසරික සහ ආචාරධර්මීය ප්‍රවේශයක් සහිතව මෙම වැඩසටහන ක්‍රියාත්මකය.

 "ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන" වැඩසටහන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ සිව්දෙවිගම කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණි. 

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ එක්ව  මෙහෙයවනු ලබන මෙම ජාතික වැඩසටහන, "දැය නංවන සපිරි ගමක්" තේමාව යටතේ තෙවසරක සැලැසැමක් යටතේ ක්‍රියාත්මකය.

මෙම ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය මගින්, ගම්මානයක භෞතික සංවර්ධනයට පමණක් සීමා නොවී, ප්‍රජා ඵලදායිතා සංකල්ප යටතේ අංශ හයක් ඔස්සේ ජනතාව බලගැන්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව අධ්‍යාපනික සංවර්ධනය, ආර්ථික සංවර්ධනය, සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව,  සමාජ යහපැවැත්ම මෙන්ම සංස්කෘතික, අධ්‍යාත්මික, පාරිසරික දියුණුව යන ප්‍රධාන සංරචකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.