(රෝෂන් තුෂාර)

මත්පැන් බලපත්‍රයක් දෙන බව පවසමින් රුපියල් කෝටි 2කට අධික මුදලක් වංචා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  සමගි ජන බලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් තනූජා ජයසිංහ මහත්මිය අද(15) නියම කළාය.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාල චෝදනාවට වරද පිළිගැනීම හේතුවෙන් ඇප මත මුදා හැරීමට නියෝග කොට ඇත.

සැකකරුට රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක්‌ නියම කළ මහේස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂ 50 බැගින් වූ මුදල් ඇපයක් නියම කිරමින් විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.

හිටපු ඇමති එස්.බී. දිසානායක මහතාගේ සහෝදර වන සැකකරු පළාත් සභා මන්ත්‍රීවරයා පැමිණිලිකරුට ලක්ෂ දහයක මුදලක් ලබන 22 දින ගෙවන ලෙසටද නියම කෙරිණි.

සුරා බදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 2,7500,000ක් (දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක්) වංචාවක් සම්බන්ධයෙන් සැකකරු මධ්‍යම අපරාධ විමර්ශන කාරයන් සිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.