(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් නිලධාරී වෙස්ගෙන පොලිස් වසම් 10 ක නිවාසවලට ඇතුළු වී රන් ආභරණ මුදල් ඇතුළු රුපියල් කෝටියකට අධික දේපළ කොල්ලකෑ සංවිධානාත්මක කල්ලියක දස දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර රන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා ද වන බව පොලිසිය කියයි.

සංවිධානාත්මක කල්ලිය කොල්ල කෑම්වලට යොදා ගත් යතුරු පැදි හතරක් පොලිස් ලාංඡන යොදා සකසා ගත් ඇඳුම් කට්ටල 5ක් කොල්ල කෑ මුදල්වලින් මිලදී ගත් තිරෝද රථ දෙකක් , කොල්ලකෑම්වලට යොදා ගත් ආරක්ෂක හිස්වැසුම් , තියුණු ආයුධ කීපයක් මෙන්ම ගිනි අවිය ද පොලිස් බාරයට ගෙන ඇත.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සංවිධානාත්මක කල්ලිය මෙහෙයවූ පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි ගල්ඔලුවා නැමති හිටපු හමුදා සෙබලා හොරයින් මත්කුඩු ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් සමග හොරණ පොකුණුවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා ගැනීම නියෝග ලබා ගැනීමෙන් අනතුරුව සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මිල්ලනිය, කහතුඩුව, අගුරුවාතොට, පාදුක්ක, කොස්ගම, බුලත්සිංහල, බණ්ඩාරගම, කිරිඳිවැල, ඉංගිරිය හා කහතුඩුව පොලිස් වසම්වල ඉකුත් මාස කීපය තුළ පොලිස් නිලධාරීන් ලෙස නිවාසවලට කඩා වදිමින් සිදු කළ කොල්ල කෑම් දහයකට අධික ප්‍රමාණයක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.